November 6, 2026

එක්සත් රාජධානියේ පැවැති Travel & Taste සම්මාන උළෙල – 2026 දී ‘වසරේ සුඛෝපභෝගී ආහාර ගමනාන්තය’ (Luxury Food Destination of the Year) සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ලෝක සංචාරක වෙළඳපොළ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කුටියේදී, Travel & Taste සම්මාන උළෙලේ ප්‍රධාන සංවිධායක ඇලෙක්ස් ක්‍රොස්ලි විසින් මෙම සම්මානය පිරිනමන ලදී.

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ විසින් අදාළ සම්මානය භාර ගන්නා ලදී.

Travel & Taste සම්මාන උළෙල යනු ක්ෂේත්‍ර 17 ක් ඔස්සේ විශිෂ්ටතම ආහාර පාන සහ සංචාරක අත්දැකීම් ලබාදෙන ගමනාන්ත ඇගයීමට ලක්කෙරෙන උත්සවයකි. ආහාර සහ සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥ මණ්ඩලයක් විසින් මෙහි ජයග්‍රාහකයින් තෝරා ගනු ලබයි.

ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන බුටික් පන්නයේ සුඛෝපභෝගී හෝටල් සමූහය, විවිධත්වයෙන් පිරි සූපශාස්ත්‍ර ක්ෂේත්‍රය සහ දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් සකස් කරන උසස් ආහාර සංස්කෘතිය විනිසුරු මණ්ඩලයේ ඇගයීමට ලක්ව ඇත.

මෙම ජාත්‍යන්තර ඇගයීම හරහා ශ්‍රී ලංකාව සුඛෝපභෝගී ආහාර සහ ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ තවදුරටත් ස්ථානගත වන අතර, උසස් රසවින්දනයක් සහ සුවිශේෂී සංචාරක අත්දැකීම් සොයා එන විදේශීය සංචාරකයින් වැඩිවශයෙන් ආකර්ෂණය කර ගැනීමට ද මෙය මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තවද, ශ්‍රී ලංකාව සතු විවිධාකාර සූපශාස්ත්‍ර ක්‍රම, පාරම්පරික රසයන් සහ පොහොසත් ආහාර සංස්කෘතික උරුමය ද මෙම සම්මානය හරහා ජාත්‍යන්තරව ඇගයීමට ලක්ව තිබේ.