November 5, 2026

ප්‍රංශයේ රුධිර ගබඩා මධ්‍යස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහිදී ශීතකරණවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 110 දක්වා ඉහළ නැංවීමට හැකර්වරුන් උත්සාහ කර ඇති බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

රුධිර පාරවිලයනය සහ ඖෂධ නිෂ්පාදනය සඳහා යොදාගන්නා ප්ලාස්මා ගබඩා කර තබන ප්‍රංශ රුධිර ආයතනය මගින් පාලනය වන මධ්‍යස්ථාන තුනක් මෙම ප්‍රහාරයේ බලපෑමට ලක්ව ඇත.

ප්‍රංශ මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ උපකරණ සැපයුම්කාර සමාගමක පද්ධතියක් ඔස්සේ ශීතකරණ පාලන පද්ධතියට ඇතුළු වී ඇති හැකර්වරුන්, සෙල්සියස් අංශක ඍණ 30 මට්ටමේ පැවැති උෂ්ණත්වය සෙල්සියස් අංශක 110 දක්වා වෙනස් කිරීමට උත්සාහ කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම අසාමාන්‍ය වෙනස්වීම ස්වයංක්‍රීය අධීක්ෂණ සහ අනතුරු ඇඟවීමේ පද්ධති මගින් වහා හඳුනාගෙන තිබේ. ඒ අනුව කිසිදු හානියක් සිදුවීමට පෙර ගබඩා කර තිබූ රුධිර නිෂ්පාදන සුරක්ෂිත කිරීමට හෝ වෙනත් ස්ථාන කරා ගෙනයාමට කාර්ය මණ්ඩලයට හැකියාව ලැබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර සිටියේ දැනට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, කිසිදු රුධිර නිෂ්පාදනයකට හානි සිදු නොවූ බවයි. එමෙන්ම රුධිර එකතු කිරීමේ හෝ බෙදාහැරීමේ සේවාවන්ට ද මෙයින් කිසිදු බාධාවක් සිදුවී නොමැත.

පසුගිය දිනවල යුරෝපීය රටවල් කිහිපයක සුපිරි වෙළඳසැල්වල ශීතකරණ පද්ධති ඉලක්ක කරගනිමින් ද මෙවැනිම සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල වූ අතර, එහිදී උෂ්ණත්වය වෙනස් කිරීම නිසා විශාල ලෙස ආහාර ද්‍රව්‍ය විනාශ වී තිබිණි.

මෙම නවතම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රංශ සයිබර් ආරක්ෂණ බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මෙම සිදුවීම් අතර යම් සබඳතාවක් තිබේද නැතහොත් ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.