November 4, 2026

ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට අදාළ නඩුවේ මෙතෙක් චෝදනා ගොනුකිරීමට සහ විමර්ශනවල ප්‍රගතියක් අත්කර ගැනීමට පොලිසිය අසමත් වීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන ඊයේ (03දා) නියෝග කළේය.

අදාළ නඩුව ඊයේ කැඳවු අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේ සිදුවීම සම්බන්ධයෙන් වසර තුනකට වැඩි කාලයක් ගත වී තිබියදී සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකිරීමට සහ විමර්ශනවල ප්‍රගතියක් අත්කර ගැනීමට පොලිසිය මෙතෙක් අසමත් වී ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්නයි.

එහිදී අධිකරණය හමුවේ පෙනීසිටි සැකකාර පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ හංසක වික්‍රමසිංහ සඳහන් කළේ, ඊයේ දිනයේ නඩුව අවසන් වරට කැඳවු බවයි.

එමෙන්ම සැකකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් නොකළහොත් ඔවුන් අදාළ නඩුවෙන් මුදාහැරීමට පියවර ගන්නා බව මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන් බව ද නීතිඥවරයා අධිකරණය හමුවේ කීවේය.

2023 ජූලි 28 වැනිදා බොරැල්ල ප්‍රදේශයේ පැවැති වෘත්තීය සමිති විරෝධතාවක් වාර්තා කරමින් සිටියදී ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය එම අවස්ථාවේදී සඳහන් කර තිබුණේ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයකු වීම සහ රජයේ නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.

එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආරම්භ කළ නඩුවට පසුව වෙනත් උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව සහ නයනා රංජනි යන අය ද සැකකරුවන් ලෙස නම් කර නඩුවට ඇතුළත් කර තිබිණි.

ඔවුහු දෙදෙනා ද ඊයේ නඩුව කැඳවු අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනීසිටියහ.

කෙසේවෙතත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව 2023 ජූලි 29 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අතර එදින ඔහු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

මේ අතර අදාළ අත්අඩංගුවට ගැනීම සහ පොලිස් භාරයේදී පහරදීම සම්බන්ධයෙන් තරිඳු උඩුවරගෙදර විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද විමර්ශනයක් ආරම්භ කර තිබිණි.