November 3, 2026

එක්සත් රාජධානිය (බ්‍රිතාන්‍යය) තුළ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමට විදේශීය රැකියා නියුක්තිකයන්ට සහ අනෙකුත් සංක්‍රමණිකයන්ට මෙතෙක් පැවැති වසර පහක කාලසීමාව වසර 10 දක්වා දීර්ඝ කිරීමට පියවර ගනිමින් ප්‍රධාන සංක්‍රමණික ප්‍රතිසංස්කරණ මාලාවක් එරට රජය විසින් නිවේදනය කර තිබේ.

එක්සත් රාජධානියේ ස්ථිර ලෙස පදිංචි වීමට සහ රැකියාවල නිරත වීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයන් සඳහා වඩාත් දැඩි කොන්දේසි ඇතුළත් රජයේ නව ස්ථිර පදිංචිය ප්‍රතිපත්තිය බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ෂබානා මහමුද් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවාය.

මෙම නව සංශෝධනවලට අනුව, නිල වශයෙන් “Indefinite Leave to Remain” (ILR) ලෙස හැඳින්වෙන ස්ථිර පදිංචි වීසා බලපත්‍රය සඳහා සුදුසුකම් ලැබීම තවදුරටත් වසර පහක පදිංචිය මත පමණක් තීරණය නොවේ. ඒ වෙනුවට අයදුම්කරුගේ උපයන ආදායම, නිරත රැකියාව, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව, සංක්‍රමණික නීතිවලට අනුකූල වීම සහ රටේ සංවර්ධනයට දක්වා ඇති දායකත්වය යන කරුණු පදනම් කරගනිමින් මෙම සුදුසුකම තීරණය කෙරෙනු ඇත.

2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම නව වෙනස්කම් හේතුවෙන්, මේ වන විට එක්සත් රාජධානියේ ජීවත්වන සහ රැකියාවල නිරත වන, මෙතෙක් ස්ථිර පදිංචිය ලබා නොමැති ශ්‍රී ලාංකිකයන් රැසකට ද බලපෑම් එල්ල වනු ඇතැයි විශ්වාස කෙරේ.

විවිධ තරාතිරම්වල සංක්‍රමණිකයන් සඳහා ස්ථිර පදිංචිය ලබාදෙන කාලසීමාවන්:

වසර 10: වසරකට පවුම් 50,000කට වඩා අඩුවෙන් උපයන රැකියා නියුක්තිකයන් ඇතුළු බොහෝ සංක්‍රමණිකයන් සඳහා වන සාමාන්‍ය සුදුසුකම් ලැබීමේ කාලසීමාව.

වසර 5: වසරකට පවුම් 50,000ට වැඩි වේතනයක් ලබන ඉහළ ආදායම්ලාභීන් මෙන්ම වෛද්‍යවරුන්, හෙදියන් සහ ගුරුවරුන් ඇතුළු සුදුසුකම් ලත් රාජ්‍ය සේවා වෘත්තිකයන් සඳහා.

වසර 3: වසරකට පවුම් 125,000කට වඩා උපයන සංක්‍රමණිකයන් සහ විශේෂිත ඉහළ කුසලතා සහිත ක්‍රමවේද ඔස්සේ බ්‍රිතාන්‍යයට ඇතුළු වන්නන් සඳහා.

වසර 30 දක්වා: කුඩා බෝට්ටු මාර්ගයෙන් ඇතුළු වූවන් ඇතුළුව, නීති විරෝධී ලෙස එක්සත් රාජධානියට ඇතුළු වූ සරණාගතභාවය ඉල්ලුම්කරන්නන් සඳහා.

වසර 20: රජය අනුමත කළ සුරක්ෂිත හා නීත්‍යානුකූල මාර්ගවලින් නොපැමිණි සරණාගතභාවය ඉල්ලුම්කරුවන් සඳහා (එහෙත් ඔවුන් රැකියාවක නිරත වන්නේ නම් හෝ අධ්‍යාපනය ලබන්නේ නම් මෙම කාලය අඩු කර ගැනීමට අවස්ථාව හිමිවේ).

වසර 5: එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද සුරක්ෂිත හා නීත්‍යානුකූල මාර්ග ඔස්සේ පැමිණෙන සරණාගතභාවය ඉල්ලුම්කරුවන් සඳහා.

මීට අමතරව, සංක්‍රමණික නීති උල්ලංඝනය කර ඇති පුද්ගලයන්ට ද ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා වසර 20ක දීර්ඝ කාලසීමාවකට මුහුණ දීමට සිදුවනු ඇත.