October 31, 2026

පසුගිය ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා හදිසියේ විදුලිය විසන්ධි වීමට බලපෑ ආසන්නතම හේතුව නොරොච්චෝල ලක්විජය විදුලි බලගාරයේ පළමු ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 187 ක විදුලි ධාරිතාවක් එකවර පද්ධතියෙන් ගිලිහී යාම බව ජාතික පද්ධති මෙහෙයුම්කරු විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ මූලික පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ එදින පෙරවරු 11.43ට පමණ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් ලබාදෙමින් තිබූ මෙගාවොට් 187ක විදුලි බලයක් මිලි තත්ත්පර 450ක් ඇතුළත පද්ධතියෙන් අහිමි වූ බවය.

පද්ධතිය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අඩු සංඛ්‍යාත භාර විසන්ධි කිරීමේ (UFLS) යාන්ත්‍රණයේ අදියර පහම සක්‍රිය වී තිබූ නමුත්, බිඳවැටීම වැළැක්වීමට එම ආරක්ෂණ පියවරයන් සමත් වී නැත. ඒ අනුව, බිඳවැටීමට මෙහොතකට පෙර ජනනය කරමින් තිබූ මෙගාවොට් 1,135 ක සමස්ත විදුලි ධාරිතාවෙන් මෙගාවොට් 449.2 ක්, එනම් සියයට 39.6 ක ප්‍රමාණයක් එකවර පද්ධතියෙන් විසන්ධි වී තිබේ.

මෙම හදිසි බිඳවැටීමත් සමඟ වික්ටෝරියා, කොත්මලේ, රන්දෙනිගල, සමනලවැව සහ ලක්ෂපාන යන ප්‍රධාන ජලවිදුලි බලගාරවල ජනන යන්ත්‍රවල ආරක්ෂණ පද්ධති සක්‍රිය වීමෙන් ඒවායේ කටයුතු ද අක්‍රිය වී ඇත.

සිදුවීමෙන් පසු ජාතික පද්ධති මෙහෙයුම්කරු විසින් වහාම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ. ජලවිදුලි බලගාර කිහිපයක් සහ කැලණිතිස්ස විදුලි බලගාරය භාවිත කරමින් මහවැලි, ලක්ෂපාන, සමනලවැව/දකුණ සහ කොළඹ යන පද්ධති හතර ඔස්සේ විදුලි සැපයුම අදියරෙන් අදියර යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව පස්වරු 4.58 වන විට සියලුම ප්‍රධාන උපපොළවල් වෙත විදුලිය ලබා දී ඇති අතර, සමස්ත ජාතික සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පැය 5 යි මිනිත්තු 15 ක කාලයක් ගතවූ බව වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලියේදී ඇතැම් ජනන යන්ත්‍රවල ඇති වූ තාක්ෂණික දෝෂ සහ මෙහෙයුම් ප්‍රමාදයන් හේතුවෙන් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ. විශේෂයෙන්ම යුගදනවි බලගාරයේ සහායක පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි ජනන යන්ත්‍රයක් නැවත ආරම්භ කිරීම ප්‍රමාද වී ඇත.

කෙසේ වුවද, නොරොච්චෝල ජනන යන්ත්‍රය මෙලෙස හදිසියේ විසන්ධි වීමට මුල් වූයේ කුමක්ද යන්න පිළිබඳව මූලික පරීක්ෂණයේදී මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැත.

මේ පිළිබඳව සිදුකරන පූර්ණ හා දීර්ඝ පරීක්ෂණ වාර්තාව ඉදිරියේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාරදීමට කටයුතු කරන බව ජාතික පද්ධති මෙහෙයුම්කරු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.