October 27, 2026

මිද්දෙනිය ප්‍රදේශයේ සිදුවූ ත්‍රිපුද්ගල මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් රතු නිවේදනයක් යටතේ සෙවූ අනුෂා ලක්මාලි හෙවත් ‘අචිනි’ නමැත්තිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ බව පොලිසිය පවසයි.

2025 පෙබරවාරි මාසයේදී මිද්දෙනිය, කඩේවත්ත හන්දිය අසලදී 39 හැවිරිදි අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ඇය සැකපිට සම්බන්ධ බවට හඳුනාගෙන ඇත.

මෙම ඝාතන පිළිබඳව පැවැත්වූ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ රුපියල් 500,000 ක කොන්ත්‍රාත්තුවක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. අදාළ මුදලෙන් කොටසක් මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ සැකකරුවන්ට අයත් ගිණුම් වෙත බැර වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සිද්ධියෙන් පසුව අනුෂා ලක්මාලි නමැත්තිය රටින් පලා ගොස් තිබූ අතර, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් රතු නිවේදනයක් හරහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.