October 27, 2026

‘කෘත්‍රිම බුද්ධිය, තිරසාරභාවය සහ නවෝත්පාදනය මගින් අන්තර්ග්‍රාහී අනාගතයක් කරා’ යන තේමාව යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේ ‘අන්තර්ජාතික පර්යේෂණ සම්භාෂණය’ 2026 ඔක්තෝබර් මස 28 සහ 29 යන දිනවල කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ආචාර්යවරුන්, පර්යේෂකයන්, විද්‍යාර්ථීන්, කර්මාන්ත නියෝජිතයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එක් කරමින් බහුවිධ පර්යේෂණ හා දැනුම හුවමාරුව ප්‍රවර්ධනය කිරීම මෙමඟින් අරමුණු කරයි. සාම්ප්‍රදායික ශාස්ත්‍රීය සීමාවලින් ඔබ්බට යමින්, පර්යේෂණ ප්‍රතිඵල සමාජීය, පාරිසරික සහ ආර්ථික අභියෝගවලට මුහුණ දෙන ප්‍රායෝගික විසඳුම් බවට පරිවර්තනය කිරීම මෙහි විශේෂ අවධානයට ලක් වේ.

ඔක්තෝබර් 28 වැනි දින පැවැත්වෙන සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වන අතර, සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයන ආයතනයේ නියෝජ්‍ය පිඨාධිපති මහාචාර්ය සුරංග නානායක්කාර ප්‍රධාන දේශනය පවත්වයි.

මෙහිදී ලෝකයේ හොඳම විද්‍යාඥයින් 2% අතර ශ්‍රේණිගතව සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ඇගයීම සහ සම්මාන ප්‍රදානය කිරීම ද සිදු කෙරේ.

දෙවැනි දිනයේදී ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත ආචාර්ය රාජේෂ් සම්භා පිරාම් පාණ්ඩවගේ දේශනයක් සහ ‘බලපෑම් සහගත පර්යේෂණ’ තේමාව යටතේ විශ්ව විද්‍යාල – කර්මාන්ත සංසදය පැවැත්වේ. විවිධ තේමා යටතේ ඉදිරිපත් කරන්නන් 240කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් තාක්ෂණික සැසිවාර ක්‍රියාත්මක වේ.

තරුණ දක්ෂතා ඇගයීම පිණිස අවසන් මහා තරඟකරුවන් 40 දෙනකුගෙන් යුත් ‘ශිෂ්‍ය නවෝත්පාදන ප්‍රදර්ශනය සහ අභියෝග තරඟාවලිය’ සහ පශ්චාත් උපාධි සිසුන් මෙන්ම වෘත්තීය ජීවිතයේ මුල් භාගයේ පසුවන පර්යේෂකයන් සඳහා වන ‘RCC+’ තරඟය මෙහි විශේෂාංග වේ. හොඳම නවෝත්පාදන, පර්යේෂණ සන්නිවේදන සහ නරඹන්නන්ගේ ඡන්දයෙන් තේරෙන වඩාත්ම ජනප්‍රිය සම්මාන ප්‍රදානය කෙරේ.

පාරිසරික වගකීම පෙරදැරිව, කඩදාසි රහිත සන්නිවේදනය, අපද්‍රව්‍ය අවම කිරීම සහ කාබන් පරිභෝජනය තක්සේරු කිරීම ඇතුළු හරිත උත්සව සංවිධාන පිළිවෙත් යටතේ ක්‍රියාත්මක වන ප්‍රථම නියමු මුල පිරීමක් ලෙසද UCIC 2026 ඉතිහාසගත වේ.