October 26, 2026

ඉරාන තෙල් නැව් 21ක් පමණ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් ඔබ්බෙහි නතර වී ඇති බව වාර්තා වන පසුබිමක, එක්සත් ජනපදය සමඟ ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමබරව පවත්වා ගනිමින්ම ඉරානයට මානුෂීය ආධාර සැපයීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටියි.

හිස්ව පවතින මෙම නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ රැඳී සිටින බව ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත්, එක්සත් ජනපද සම්බාධකවලට ලක්වූ ඉරාන නෞකාවලට ආධාර සපයන්නන්ට එරෙහිව ද්විතීයික සම්බාධක පනවන බවට එක්සත් ජනපදය තර්ජනය කිරීමෙන් පසු, රජය කිසිදු වාණිජ සැපයුමක් හෝ ලොජිස්ටික් සහයක් (ගබඩා හා ප්‍රවාහන පහසුකම්) ලබාදීමෙන් වැළකී සිටී.

මාස ගණනාවක් තිස්සේ මුහුදේ අතරමං වී සිටි නාවිකයන් 40 දෙනකු සඳහා හදිසි වෛද්‍ය ආධාර ඉල්ලා සිටිමින් පසුගිය සෙනසුරාදා ඉරාන නෞකා දෙකක් සාගර සෙවුම් හා මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) හරහා ශ්‍රී ලංකා නාවික හමුදාවට හදිසි ආපදා ඇමතුම් ලබා දී තිබිණි.

තමන් බැඳී සිටින අන්තර්ජාතික මානුෂීය වගකීම්වලට අනුකූලව ක්‍රියාකළ ශ්‍රී ලංකාව, එකී ආපදා ඇමතුම්වලට ප්‍රතිචාර දක්වමින් නාවිකයින් 40 දෙනාම මුදාගෙන ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඊයේ උදෑසන නැවත ඉරානයට පිටුවහල් කිරීමට කටයුතු කළේය.

“ඔව්, එය නිවැරදියි. අපි නාවිකයින් 40 දෙනකු මුදාගෙන, වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඉරිදා උදෑසන නැවත පිටුවහල් කළා” යැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත.

කෙසේවෙතත්, වොෂින්ටනයේ ද්විතීයික සම්බාධක පිළිබඳ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමින්, එක්සත් ජනපද සම්බාධකවලට ලක්වූ ඉරාන නෞකාවලට වාණිජ සැපයුම් හෝ ලොජිස්ටික් සහය ලබාදීම සම්බන්ධයෙන් රජය දැඩි ප්‍රවේශමකින් කටයුතු කරයි. ඉරානය ඇතුළු සියලුම රටවල් සමඟ සබඳතා පවත්වාගෙන යන අතරතුර අනවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික ගැටලු ඇතිවීම වළක්වා ගැනීමට ශ්‍රී ලංකා රජය උත්සාහ කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, මෙම නාවිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ හදිසි ඇමතුම් ලැබෙන විට ඔවුන් ගාල්ලෙන් ඔබ්බට නාවික සැතපුම් 24ක් පමණ දුරින් පිහිටි වෙළඳ නෞකාවල රැඳී සිට ඇත.

මෙම මුදාගැනීමේ සහ ඉවත්කිරීමේ කටයුතු කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය විසින් සංවිධානය කර පහසුකම් සපයන ලද අතර, ශ්‍රී ලංකා බලධාරීන් ගාල්ල වරාය හරහා නැවියන් ගොඩබිමට ගෙන ඒම සම්බන්ධීකරණය කර තිබේ.

එක්සත් ජනපද සම්බාධක හමුවේ ඉරාන නෞකාවලට නැවත තමන්ගේ මව් වරායන් වෙත ගමන් කිරීමට නොහැකි වී ඇති අතර, මෙම සම්බාධක හේතුවෙන් කලාපයේ ඉරාන සාගරික මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

එම නෞකා නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂණ ගුවන් යානා සහ නාවික මුර සංචාරක යාත්‍රා යොදවා ඇති බව ආරක්ෂක නිලධාරීහු පවසති.

මෙම නවතම මානුෂීය මෙහෙයුම සිදුවූයේ, ඉකුත් මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව ආසන්න අන්තර්ජාතික මුහුදේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් ඉරානයේ ‘IRIS Dena’ නමැති යුධ නෞකාව ගිල්වා දැමීමෙන් නාවිකයින් 104 දෙනකු මියගිය සිද්ධියෙන් පසුවය.

එම සිදුවීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉරාන නාවිකයින් 32 දෙනෙකු මුදාගත් අතර, පසුව දෙවැනි ඉරාන නාවික නෞකාව ත්‍රිකුණාමලයේදී ආරක්ෂිත නැංගුරම් පහසුකම් ඉල්ලා සිටියේය.

පුළුල් භූ-දේශපාලනික උණුසුමක් පැවතියද, ශ්‍රී ලංකාව සම්බාධකවලට ලක්වීමට හෝ වොෂින්ටනය සමඟ ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට බලපෑම් ඇතිවිය හැකි ඕනෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් ප්‍රවේශම් වන අතරම, ඉරාන නාවිකයන්ට ලබාදෙන සහාය මානුෂීය කරුණු මත පදනම් වූවක් බව ප්‍රකාශ කර ඇත.