October 26, 2026

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා විදුලි බස් රථ 200ක් මිලදී ගැනීමට අදාළ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබියදීත්, නියමිත කාලසීමාව තුළ එය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාවක සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය, භාවිතයෙන් පසු සිදුවන කළමනාකරණය සහ ඊට අදාළ පාරිසරික බලපෑම් පිළිබඳව විමර්ශනය කරමින් මෙම වාර්තාව සකස් කර තිබේ.

ඉන්ධන ආනයනය අවම කිරීම, වායු දූෂණය අවම කිරීම සහ පාරිසරික වශයෙන් තිරසාර පොදු ප්‍රවාහන සේවයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, කොළඹ නාගරික කලාපය සහ ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මෙම විදුලි බස් රථ 200 ධාවනයට එක්කිරීමට සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත්, මෙම මිලදී ගැනීම සඳහා අදාළ යෝජනා කැඳවීමේ ලේඛන ලංසුකරුවන් දස දෙනෙකු විසින් ලබාගෙන තිබුණද, ඉන් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත්තේ එක් ලංසුකරුවෙකු පමණක් බව විගණනයේදී අනාවරණය වී ඇත.

එලෙස ඉදිරිපත් වූ එකම ලංසුකරුද ව්‍යාජ කාර්යසාධන ඇපකරයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් පසුව නුසුදුසු බව ප්‍රකාශයට පත්ව ඇති බව එම වාර්තාවේ දැක්වේ.

ඊට අනුරූපව, අදාළ මිලදී ගැනීමේ ක්‍රියාවලිය 2024 ජූලි 20 වන දින අවලංගු කර තිබේ.

මෙම විදුලි බස් රථ මිලදී ගැනීමට සහ ධාවනයට එක්කිරීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට හෝ අවසන් කිරීමට 2025 ඔක්තෝබර් 27 වන විටත් අවශ්‍ය පියවර ගෙන නොතිබූ බව විගණන වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.

මිලදී ගැනීමේ පරිපාලන ක්‍රියාවලියේ පැවැති අඩුපාඩු, ලංසුකරුවන් ඇගයීමේදී සිදු වූ අඩුපාඩු, විකල්ප අර්බුදකාරී අවස්ථාවන් සඳහා වූ මිලදී ගැනීමේ සැලසුම් නොමැති වීම මෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශය, භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතර පැවැති ප්‍රමාණවත් නොවන සම්බන්ධීකරණය මෙම ප්‍රමාදයන් සඳහා හේතු වී ඇති බව අදාළ වාර්තාව පෙන්වා දෙයි.

මෙම ප්‍රමාදයන් හේතුවෙන්, විශේෂයෙන්ම ඉන්ධන ආනයනය සීමා කිරීම සහ නාගරික වායු දූෂණය අවම කිරීම වැනි මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ ළඟා කර ගැනීමට බාධා පැමිණ ඇති බව ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.