October 26, 2026

පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට කළුතර නාගොඩ ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් එහි රියැදුරා තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

කළුතර අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් බෝබුවල ප්‍රදේශයේදී සැකකටයුතු ත්‍රිරෝද රථයකට නවත්වන ලෙස සංඥා කර ඇත.

කෙසේ වෙතත්, රියැදුරු එම සංඥාව නොතකා ඉදිරියට ධාවනය කර ඇති අතර, නිලධාරීන් කිලෝමීටර් හතරකට ආසන්න දුරක් එම වාහනය පසුපස හඹා ගොස් තිබේ.

පසුව නාගොඩ ප්‍රදේශයේදී පොලිසිය ත්‍රිරෝද රථයට වෙඩි තබා ඇති අතර, එහිදී කළුතර, රාජවත්ත පදිංචිකරුවකු වන ‘රාජවත්ත සංජු’ ලෙස හඳුනාගෙන ඇති රියැදුරා තුවාල ලබා ඇත.

ඔහු ප්‍රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී සැකකටයුතු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය පවසයි.