October 24, 2026

සීමිත සම්පත් ප්‍රමාණයක් පවතිද්දී පවා දිළිඳුකම පිටුදැකීම අතින් ලොව පුරා දැඩි පැසසුමට ලක්වූ බංග්ලාදේශය, මානව සංවර්ධනය, ග්‍රාමීය ජීවනෝපාය, කාන්තා බලගැන්වීම් සහ සාමාජික සුබසාධන වැඩසටහන් තුළින් අඩු ආදායම්ලාභී ආර්ථිකයක් සාර්ථක ලෙස පරිවර්තනය කළ හැකි බවට ලොවටම ආදර්ශයක් සැපයීය. එම අතීත ජයග්‍රහණය අදටත් අතිශය වැදගත් එකකි.

එනමුත්, වර්තමානයේදී එම දේශය හමුවේ අභියෝගාත්මක මෙන්ම දැඩි අපහසුතාවයට පත් කරවන ප්‍රශ්නයක් මතුව තිබේ. එනම්; ආකර්ෂණීය ආර්ථික වර්ධනයක් වාර්තා කළ රටකට, තම ජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය පාරිභෝගික සේවාවන් සපයා ගැනීමට පවා නොහැකි තත්ත්වයකට පත්වීමට ඉඩහැර තවත් මිලියන ගණනක ජනතාවක් නැවතත් දිළිඳුකමේ අගාධයට ඇද දැමීමට ඉඩ හැරියේ කෙසේද යන්නයි.

මේ වන විට මතුවෙමින් පවතින අනතුරු ඇඟවීමේ සංඥා තවදුරටත් නොසලකා හැරිය නොහැක. බංග්ලාදේශ සංඛ්‍යාන කාර්යාංශය විසින් 2026 ඔක්තෝබර් මාසයේදී පවත්වන ලද සමීක්ෂණයකට අනුව, එරට පවුල්වලින් 47.42% ක්ම තම එදිනෙදා ජීවන වියදම් පියවා ගැනීම සඳහා ණය ගැනීමට පෙළඹී ඇත. එරට පවුලක සාමාන්‍ය මාසික ආදායම ටාකා 33,513 ක් ලෙස සටහන් වෙද්දී, සාමාන්‍ය මාසික වියදම ටාකා 35,311 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ග්‍රාමීය ප්‍රදේශවල තත්ත්වය වඩාත් බරපතල වන අතර, එදිනෙදා මූලික වියදම් පියවා ගැනීම සඳහා ණය ගන්නා බවට ග්‍රාමීය පවුල් අතුරින් 51.91% ක් වාර්තා කර ඇත. මෙලෙස එදිනෙදා පාරිභෝජනය සඳහා පවුල් පිටින් ණය ගැනීමට සිදු වන විට, පැහැදිලි වන්නේ ජනතාවගේ ආදායම ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බවයි. මෙම ණය ආපසු ගෙවීමට සිදු වීම නිසා ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ හදිසි අවස්ථාවන් සඳහා ඉතිරි වන මුදල තවදුරටත් සීමා වේ.

බංග්ලාදේශය තුළ අලුතින් මතුවෙමින් පවතින නව දිළිඳු ප්‍රජාවගේ සැබෑ යථාර්ථය මෙයයි. මෙම ජනතාව නිල දිළිඳුකමේ රේඛාවට ඉහළින් සිටියද, රෝගාබාධයක්, රැකියාව අහිමි වීමක්, බඩු මිල ඉහළ යාමක් හෝ දේශගුණික විපර්යාසයක් වැනි හදිසි ආර්ථික කම්පනයකට ඔරොත්තු දීමේ මූල්‍යමය ශක්තියක් ඔවුන් සතුව නැත.

එබැවින් වර්තමාන අභියෝගය වන්නේ කෙසේ හෝ නිල සංඛ්‍යාලේඛනවල දිළිඳුකම අඩු කර පෙන්වීම පමණක් නොව, ලබා ගන්නා ආර්ථික ප්‍රගතිය තිරසාර සහ ස්ථාවර එකක් බවට පත් කිරීමයි. දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය, අපනයන පුළුල් වීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වැදගත් වන මුත්, එමගින් පමණක් ආර්ථිකයේ සාර්ථකත්වය සමාජයේ සෑම තරාතිරමකම ජනතාව අතර සාධාරණ ලෙස බෙදී යනවාද යන්න තීරණය කළ නොහැක. ආර්ථික වර්ධනය මගින් ගෞරවනීය රැකියා උත්පාදනය නොවේ නම්, සැබෑ වේතනයන් ඉහළ නොයන්නේ නම් සහ අත්‍යවශ්‍ය සේවාවන් වර්ධනය නොවේ නම්, එම ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ අසමාන වන අතර ඒවා ඕනෑම මොහොතක කඩා වැටීමේ අවදානමක පවතී.

ලෝක බැංකුවේ 2026 ඔක්තෝබර් වාර්තාවට අනුව, 2022 වසරේදී 18.7% ක් ලෙස පැවැති බංග්ලාදේශයේ දිළිඳුකමේ අනුපාතය 2026 වන විට 22.5% දක්වා ඉහළ යා හැකි බව ඇස්තමේන්තු කර ඇත. දිනකට ඩොලර් 3 ක අන්තර්ජාතික සීමාවට අනුව මනිනු ලබන අතිශය උග්‍ර දිළිඳුකම, 5.9% සිට 10.1% දක්වා ඉහළ ගොස් ඇති බව තක්සේරු කෙරේ. ඒ අනුව, බංග්ලාදේශයේ කෝටි 6.2 කට ආසන්න ජනගහනයක් තවමත් පසුවන්නේ එකම එක ආර්ථික පහරදීමකින් නැවතත් දිළිඳුකමේ අගාධයට වැටීමේ අවදානමකය.