October 22, 2026

ඇමෙරිකානු තැපැල් සේවයට ඩොලර් මිලියන 125කට වැඩි පාඩුවක් සිදුකළ අන්තර්ජාල ව්‍යාජ තැපැල් මුද්දර ජාවාරමක ප්‍රධාන මහ මොළකරු ලෙස සැලකෙන පුද්ගලයෙකු පාකිස්ථාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාකිස්ථාන ජාතික සයිබර් අපරාධ විමර්ශන ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, රට පුරා සිදුකළ මෙහෙයුම් සහ වැටලීම්වලින් අනතුරුව 33 හැවිරිදි ෆහීම් අක්‍රම් නමැති මෙම සැකකරු පසුගිය අඟහරුවාදා අත්අඩංගුවට ගත් බවයි.

ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා දකුණු දිසා ෆෙඩරල් මහා ජූරිය විසින් ඉකුත් මාසයේදී මොහුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබුණි. ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ඇමෙරිකාව තුළ ව්‍යාජ තැපැල් මුද්දර මිලියන 5.1කට වඩා අලෙවි කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත.

ඇමෙරිකානු නීතිපති කාර්යාලයට අනුව, නිල තැපැල් ගාස්තුවලට වඩා අඩු මිලකට පාර්සල් යැවීමට පාරිභෝගිකයින්ට ඉඩ සලසමින් ඩොලර් 2ක් පමණ වන මෙම ව්‍යාජ මුද්දර අලෙවි කර ඇති අතර, එමගින් ඇමෙරිකානු තැපැල් සේවයට විශාල මූල්‍ය අලාභයක් සිදුවී තිබේ. කෙසේ වෙතත්, ගණන් බලා ඇති ඩොලර් මිලියන 124කට අධික අලාභය තැපැල් සේවයට සිදු වූ පාඩුව වන අතර, එය වෙබ් අඩවියෙන් සැකකරු ලැබූ ආදායම නොවන බව නිලධාරීන් පැහැදිලි කර ඇත.

පාකිස්ථාන විමර්ශකයින් අනාවරණය කරගෙන ඇත්තේ, සැකකාර අක්‍රම් 2023 අගෝස්තු මාසයේ සිට මෙම වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් ඇති අතර, මෙම ජාවාරම සඳහා සිය පෞද්ගලික බැංකු ගිණුම මෙන්ම පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් ඇතුළුව බැංකු ගිණුම් 16ක් භාවිත කර ඇති බවයි.