October 1, 2026

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළ සටහන් පොත් 8ක් රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (01) නියෝග කළේය.

අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් කරුණු දක්වමින් කියාසිටියේ, සැකකරු විසින් පවත්වාගෙන ගොස් ඇති ජාලගත මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළ තොරතුරු ඇතුළත් සටහන් පොත් 8ක් සොයාගත් බවයි.

එම පොත්වල ඇති අත් අකුරු සැකකරුගේමදැයි තහවුරු කර ගැනීම සඳහා ඒවා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අවසර දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ සටහන් පොත්වල අත් අකුරු පරික්ෂාව සඳහා රස පරීක්ෂක වෙත යවන ලෙස නියෝග කළ අතර, සැකකාර කෙහෙල්බද්දර පද්මේ ලබන 15 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.