October 1, 2026

සියඹලංගමුව ප්‍රදේශයේදී ඉදිරිපස දකුණු කකුලට වෙඩි වැදී තුවාල ලබා සිටි ‘කාවන්තිස්ස’ නමැති හස්තියා, වනජීවී පශු වෛද්‍යවරුන්ගෙන් නොකඩවා ලැබුණු ප්‍රතිකාර හමුවේ සැලකිය යුතු සුවයක් ලබා නැවතත් වන අලි රංචුවක් හා එක්වී තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ දින කිහිපයක් පුරා ප්‍රතිජීවක සහ අවශ්‍ය අනෙකුත් ඖෂධ ලබා දීමෙන් පසුව ඇතාගේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරී ඇති අතර, තුවාල වූ පාදයේ ඉදිමුම සහ තුවාලයේ ප්‍රමාණය අඩුවී ඇති බව පශු වෛද්‍යවරුන් නිරීක්ෂණය කර ඇති බවයි.

මීගලෑව වනජීවී අඩවි වන නිලධාරීවරයා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් කාවන්තිස්ස ඇතාගේ ගමන් බිමන් සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දිගින් දිගටම පරීක්ෂාවෙන් පසුවෙති.

වෛද්‍ය චන්දන ජයසිංහ, ආනන්ද ධර්මකීර්ති, අකලංක පිණිදිය, ඉසුරු හේවකොට්ටගේ සහ පුබුදු අඩස්සූරියගෙන් සැදුම්ලත් පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබයි.

කාවන්තිස්ස ඇතා මෑතකදී අලි 15 කගෙන් පමණ සමන්විත රංචුවක් සමඟ සැරිසරන අයුරු නිරීක්ෂණය වූ බවත්, එය උගේ සුවය ලැබීමේ ක්‍රියාවලියේ ඉතා සුබවාදී වර්ධනයක් පෙන්නුම් කරන බවත් වනජීවී නිලධාරීහු පැවසූහ.

සැප්තැම්බර් 29 වැනිදා අලුයම 4 ට පමණ සහ සැප්තැම්බර් 30 වැනිදා රාත්‍රී 10.30 ට පමණ නිලධාරීන් මෙම දළ ඇතා සමීපයට ගොස් නිරීක්ෂණය කර ඇති අතර, එහිදී ඇතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව නිරීක්ෂණය වී ඇත.

කෙසේ වෙතත්, එක් පරීක්ෂා කිරීමකදී කාවන්තිස්ස ඇතා වනජීවී කණ්ඩායම පසුපස ලුහුබැඳ ඇති අතර, ප්‍රතිකාර අතරතුර නිර්වින්දනය කිරීම සඳහා නැවත නැවතත් සිදු කළ වෛද්‍ය පරීක්ෂණ සහ වේදනාකාරී එන්නත් කිරීම් හේතුවෙන් ඇතා මෙලෙස ප්‍රතිචාර දක්වන්නට ඇතැයි විශ්වාස කෙරේ.