October 1, 2026

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබන ප්‍රථම ‘ලෝක සර්ප සමුළුව-2026’ හි සමාරම්භක උත්සවය පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

සර්පයන්, විද්‍යාව, විශේෂයන්ගේ පැවැත්ම සහ ශ්‍රී ලංකාව යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම අන්තර්ජාතික සමුළුව සඳහා දේශීය සහ විදේශීය විද්වතුන්, පර්යේෂකයන්, පරිසරවේදීන් මෙන්ම එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වීමට නියමිතව තිබේ.

මෙම සමුළුව හරහා මෙරට සර්ප විවිධත්වය ආරක්ෂා කිරීම, සංරක්ෂණ කටයුතු සහ විද්‍යාත්මක පර්යේෂණවලට අදාළ ප්‍රධාන ගැටලු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.

එසේම, සර්ප විශේෂවල පැවැත්ම වෙනුවෙන් පවතින අභියෝග ජයගැනීමට සහ විශේෂඥයන් අතර අදහස් හා දැනුම හුවමාරු කර ගැනීමට මෙය කදිම වේදිකාවක් වනු ඇතැයි සංවිධායකයන් විසින් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම විවිධත්වයෙන් යුතු සර්ප ගහණය හඳුනාගැනීමටත්, ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු විද්‍යාත්මක ක්‍රියාමාර්ග සහ සංරක්ෂණ ප්‍රයත්නවල වැදගත්කම සමාජගත කිරීමටත් මෙම සමුළුව මඟින් මහත් පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.