September 30, 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරියකුට, අද(30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටතදී රූපවාහිනී කැමරා ශිල්පියකු විසින් පහරදෙන ලදැයි පවසමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකරන ලද නඩුවක නඩු වාරයකට සහභාගී වී රනිල් වික්‍රමසිංහ අධිකරණයෙන් පිටව යද්දී අධිකරණ ගේට්ටුව ආසන්නයේදී මෙම සිදුවීම සිදුව ඇති බව එම පක්ෂය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයමින් සිටි මෙම නිලධාරියාගේ හිසට අදාළ කැමරා ශිල්පියා සිය කැමරාවෙන් පහර දී ඇති බවයි.

පහරකෑමට ලක්වූ නිලධාරියා පසුව රෝහල්ගත කර ඇත.

එමෙන්ම අධිකරණ පරිශ්‍රයේ සිටි අනෙකුත් ජනමාධ්‍යවේදීන්ගේ කැමරාවල ද මෙම සිදුවීම සටහන් වී ඇති බව එම පක්ෂය වැඩිදුරටත් කියා සිටී.

අධිකරණ පරිශ්‍රයේ පැවැති ආරක්ෂක වැඩපිළිවෙලෙහි ප්‍රමාණවත් භාවය පිළිබඳව ප්‍රශ්න කර සිටින එක්සත් ජාතික පක්ෂය, රනිල් වික්‍රමසිංහට අනතුරක් කිරීමේ පූර්ව සැලසුමක් පැවැතුණේද යන්න පිළිබඳව ද සැකය පළකරයි.