September 30, 2026

ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි (FZ1073) වාණිජ ගුවන් යානයකින් හදිසි අනතුරු ඇඟවීමේ සංඥා දෙකක් නිකුත් වී ඇති අතර, ඉන් එකක් යානය පැහැර ගැනීමට ලක්ව ඇති බවට කෙරුණු සංඥාවක් බව වාර්තා වේ.

මෙම සිදුවීමට හේතුව ගුවන් යානයේ නියමුවන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් බව පසුව අනාවරණ වී තිබේ.

ඊශ්‍රායල බලධාරීන් තහවුරු කර ඇත්තේ ගුවන් යානයේ ප්‍රධාන නියමුවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියෙකු බවත්, සහායක නියමුවා ඕමාන් ජාතිකයෙකු බවත්ය.

ඕමාන් ජාතික සහායක නියමුවා විසින් එමීර් රාජ්‍යයේ ප්‍රධාන නියමුවාට පිහි ඇනුමක් සිදු කර ගුවන් යානයේ පාලනය තම භාරයට ගැනීමට උත්සාහ කර ඇති බව එම බලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

එමෙන්ම, මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් වීමේ හැකියාවද තවමත් බැහැර කළ නොහැකි බව ඔවුහු සඳහන් කරති.

මෙම සිද්ධියට සම්බන්ධ නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු රුසියානු ජාතිකයෙකු බවත් අනෙක් තැනැත්තා යුක්‍රේන ජාතිකයෙකු බවත් ඊශ්‍රායල මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණද, ඊශ්‍රායල බලධාරීන් පසුව එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.

Flight Radar දත්ත වලට අනුව, ගුවන් යානය ගුවන් ගත වී පැය දෙකහමාරකට පමණ පසුව මෙම සිදුවීම සිදුව ඇත.

අනතුරුව යානය සෞදි අරාබියේ තබුක් හි පිහිටි සිවිල් සහ හමුදා ගුවන් තොටුපළ වෙත ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.