September 28, 2026

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති නඩුවක 04 වැනි විත්තිකරු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම්කර තිබේ.

ඉන්දීය රියල් එස්ටේට් සමාගමක් වන ‘ක්‍රිෂ්’ සමාගම සම්බන්ධයෙන් සිදුවූයේ යැයි කියන මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් මෙම නඩුව පවරා ඇත.

කොළඹ කොටුවේ පිහිටි ‘ට්‍රාන්ස්වර්ක්ස් චතුරශ්‍ර’ ඉඩම ලබාගැනීමට සහ ඊට අදාළ අනුමැතීන් ඉක්මන් කර දීමට පහසුකම් සැලසීම වෙනුවෙන් නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබා දී ඇති බවට වන චෝදනා සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග තවදුරටත් සිදුවෙමින් පවතියි.

විමර්ශනවල කොටසක් ලෙස, දැනට රිමාන්ඩ් භාරයේ පසුවන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අධිකරණයෙන් අවසර ලබාගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පසුගියදා කටයුතු කර තිබිණි.

මෙම නඩුවට අදාළ විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට සිදුකෙරේ.