September 26, 2026

ෆීජි හි උක් වගාව, බෝග නිරීක්ෂණය සහ කෘෂිකාර්මික යෙදවුම් වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඉන්දියාව විසින් ෆීජි සීනි සංස්ථාව වෙත කෘෂිකාර්මික ඩ්‍රෝන යානා 12ක් පරිත්‍යාග කරමින් දෙරට අතර සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර තිබේ.

ලවුටෝකා හි පැවැති උත්සවයකදී ෆීජි හි ඉන්දීය මහ කොමසාරිස් සුනීත් මෙහ්තා විසින් මෙම ඩ්‍රෝන යානා, ෆීජි හි කෘෂිකර්ම, ජලමාර්ග සහ සීනි කර්මාන්ත අමාත්‍ය ටොමාසි ටුනබුනා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබුවේ 2025 අගෝස්තු මාසයේදී ෆීජි අග්‍රාමාත්‍ය සිටිවේනි රබුකා ඉන්දියාවේ නිරත වූ සංචාරය අතරතුර කරන ලද පොරොන්දුවකට අනුවය. මෙය කෘෂිකාර්මික හා සීනි ක්ෂේත්‍රයන් හි ඉන්දියාව සහ ෆීජි අතර පවතින පුළුල් සහයෝගිතාවේ තවත් එක් පියවරකි.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස් මෙහ්තා කියා සිටියේ, මෙම ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික යෙදවුම් වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීමටත්, බෝග ආරක්ෂාව තහවුරු කිරීමටත්, ගොවිතැන් කටයුතුවලදී සිදුවන වෙහෙස අවම කරමින් අස්වැන්න ඉහළ නැංවීමටත් ගොවීන්ට හැකි වන බවයි.

මීට අමතරව දෙරට අතර දැනුම හා කුසලතා හුවමාරු කර ගැනීමේ අරමුණින්, ෆීජි ජාතිකයින් 15 දෙනෙකු සඳහා ඉන්දියාවේ සීනි කර්මාන්තයට අදාළ විශේෂිත පුහුණු වැඩසටහනක් ඉදිරියේදී ආරම්භ කරන බවද මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ටුනබුනා මහතා සඳහන් කළේ, පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික ද්‍රව්‍ය යෙදීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීමට මෙම ඩ්‍රෝන යානා උපකාරී වන බවයි. මෙම තාක්ෂණය භාවිතයට ගැනීම සහ පරිශීලකයින් පුහුණු කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ෆීජි සීනි සංස්ථාව එක්ව කටයුතු කරනු ඇත.