September 27, 2026

කොළඹ හා තවත් ප්‍රදේශ කිහි­ප­යක පිහිටි කිතුනු දේව­ස්ථාන සහ සංචා­රක හෝටල් ඉලක්ක කර­ග­නි­මින්, 2019 වසරේ පාස්කු ඉරු­දින මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලා­වක් එල්ල කිරී­මට කුම­න්ත්‍ර­ණය කිරීම හා ආධාර අනු­බල දීම ඇතුළු චෝද­නා­ව­ලින් නිදොස් කොට නිද­හස් කෙරුණු විත්ති­ක­රු­වන් 9 දෙනා­ගෙන් 8 දෙනකු බන්ධ­නා­ගා­ර­යෙන් පිටව ගිය බව බන්ධ­නා­ගාර මාධ්‍ය ප්‍රකා­ශක සේනක පල්ලේ­තැන්න පැව­සීය.

අනෙක් පුද්ග­ලයා වෙනත් නඩු­වක් සඳහා තව­මත් බන්ධ­නා­ගා­ර­ග­තව සිටිය යුතු බැවින් මේ නඩු­වෙන් නිද­හස් වුවද, ඔහුට නිවෙ­සට යෑමට හැකි­යා­වක් නැති බවද ඔහු සඳ­හන් කළේය.

ඉකුත් අඟ­හ­රු­වාදා (22) නඩුවේ තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර­මින් විනි­සුරු මඬුල්ල බන්ධ­නා­ගා­ර­යට නියෝග කළේ නිද­හස් කරන ලද විත්ති­ක­රු­වන්ගේ වෙනත් නඩු කට­යුතු සම්බ­න්ධ­යෙන් පරීක්ෂා කර බලා, ඔවුන් බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස් කරන ලෙසයි.

එමෙන්ම නිද­හස් කළ බවට සියලු ලේඛන ගාස්තු රහි­තව ලබා දෙන ලෙසද විනි­සුරු මඬුල්ල නියෝග කළේය.

ඔවුන්ට සිය ගම් බිම්ව­ලට ගොස්, තමන් නඩු­වෙන් නිද­හස් කොට නිද­හස් කළ බව පෙන්වී­මට හැකිවනු පිණිස එසේ නියෝග කරන බවද විනි­සුරු මඩුල්ල දන්වා ඇත.(සිළුමිණ)