September 24, 2026

ප්‍රකට අමෙරිකානු රංගන ශිල්පිනී හේඩන් පැනෙටියර්, ෆෙන්ටනිල් නමැති ප්‍රබල ඔපියොයිඩ් ඖෂධය සහ තවත් ඖෂධ වර්ග කිහිපයක් එකට ශරීරගත වීමෙන් ඇති වූ විස සහිත සංකූලතාවයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි දකුණු කැරොලිනා බලධාරීහු නිල වශයෙන් නිවේදනය කළහ.

ග්‍රීන්විල් කවුන්ටි මරණ පරීක්ෂක කාර්යාලය සඳහන් කරන්නේ ඇගේ මරණය අනපේක්ෂිත හදිසි අනතුරක් ලෙස සලකා මරණ පරීක්ෂණ කටයුතු අවසන් කළ බවයි.

කෙසේ වෙතත්, මෙම 36 හැවිරිදි වියේ පසුවූ රංගන ශිල්පිනිය දකුණු කැලිෆෝනියාවේ පිහිටි ජාවාරම්කරුවෙකුගෙන් නීති විරෝධී හෝ ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද මත්ද්‍රව්‍ය ලබාගෙන ඇත්ද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Heroes සහ Nashville යන ජනප්‍රිය නිර්මාණ හරහා අතිශය ප්‍රසිද්ධියට පත් පැනටියර් ඉකුත් අගෝස්තු 16 වන දින ග්‍රීන්විල් හි පිහිටි මහල් නිවාසයකදී මියගොස් සිටියදී සොයාගන්නා ලදී.

හදිසි ඇමතුමකට අනුව වහා ක්‍රියාත්මක වූ වෛද්‍ය සහන කණ්ඩායම් එම ස්ථානයට ළඟා වන විටත් 36 හැවිරිදි වියේ පසුවූ හේඩන් පැනෙටියර් හෘදයාබාධිත තත්ත්වයක පසුවූ අතර, ඇගේ ජීවිතය බේරා ගැනීමට දරන ලද සියලු උත්සාහයන් ව්‍යර්ථ වී තිබුණි.

විදෙස් ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කරන ලද මරණ පරීක්ෂක වාර්තාවට අනුව, ‘Airbnb’ නිවාඩු නිකේතන මහල් නිවාසයක සිටි ඇය මුහුණ පහතට හැරී, දෙපා එක මත එක තබා වාඩි වී සිටින ඉරියව්වෙන් ප්‍රතිචාර විරහිතව වැටී සිටියදී සොයාගෙන ඇත.

AP පුවත් සේවය වාර්තා කර තිබුණේ පොලිසිය විසින් පැනටියර්ගේ පෙම්වතා සහ ඔහුගේ සොහොයුරා ලෙස හඳුනාගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඇගේ සිරුර තද දම් පැහැයට හැරී තිබියදී සෝෆාවක් මත තිබී සොයාගෙන තිබූ බවයි.

ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා, එක් පුද්ගලයෙකු විසින් ඖෂධ අධිමාත්‍රාවලට ප්‍රතිකාර ලෙස ලබාදෙන Narcan මාත්‍රා දෙකක් ඇයට ලබා දී වහාම හදිසි ඇමතුම් අංකයට අමතා තිබේ.