September 23, 2026

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගන්නා අවස්ථාවේදී, සිය මන්ත්‍රීවරුන්ට තම ස්වකීය හෘද සාක්ෂියට අනුව අදහස් දැක්වීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.

මෙම කෙටුම්පත සම්මත කිරීමට ජනමතවිචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම නිවේදනය නිකුත් කර ඇත.

සංශෝධනය පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තුව කාලසටහන් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අදාළ වන්නේ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා වන ව්‍යවස්ථාපිත අවශ්‍යතාවලට පමණක් බවත්, යෝජිත සංශෝධනය යහපත්ද නැතහොත් අයහපත්ද යන්න හෝ පාර්ලිමේන්තුව එය සම්මත කළ යුතුද යන්න පිළිබඳ තීන්දුවක් ලෙස එය අර්ථ නිරූපණය නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කළේය.

මෙම සංශෝධනය ඉදිරිපත් කිරීමේදී පාරදෘශ්‍යභාවයක් සහ සුදුසු පරිදි කරුණු විමසීමක් සිදුනොවූ බවට නැගී ඇති කනස්සල්ල සහ එහි ඇති විය හැකි ප්‍රතිඵල සලකා බලමින්, සංශෝධනය සම්මත කළ යුතුද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම දැන් පාර්ලිමේන්තුවට සහ තනි තනි මන්ත්‍රීවරුන්ට පැවරෙන බව එහි සඳහන් වේ.

ආගමික සංවිධාන, නීති හා අධිකරණ සංවිධාන, අන්තර්ජාතික නීතිමය ආයතන මෙන්ම වෘත්තීය සමිති සහ සංගම් 40 කට වැඩි ප්‍රමාණයක් විසින් ද මතුකර ඇති කනස්සල්ල පිළිබඳව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙහිදී පෙන්වාදෙයි.

“ඒ අනුව, 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තම හෘද සාක්ෂියට අනුව අදහස් දැක්වීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන්ට ඉඩදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි” යනුවෙන් එම සංගමය පවසයි.

තමන්ගේ ව්‍යවස්ථාපිත සහ නියෝජිත වගකීම් මෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි ඇති යුතුකම සලකා බලමින් මන්ත්‍රීවරුන් ප්‍රතිපත්තිගරුක තීරණයක් ගත යුතු බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.