September 23, 2026

සවුදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකිකයකු වන අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීමේ උත්සාහයන් සඳහා මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සිය පූර්ණ සහයෝගය පළ කර තිබේ.

සිවරාසා වෙනුවෙන් ක්‍රියාත්මක වන රාජ්‍යතන්ත්‍රික මෙහෙයුමේ මුල් පියවරක් ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අද(23) මාලදිවයිනේදී හිටපු ජනාධිපතිවරයාව හමුවී ඇත.

තොරතුරුවලට අනුව, සිවරාසා විසින් කරන ලද ප්‍රකාශ මුස්ලිම් ප්‍රජාවට සිදුකළ බලපෑමේ බරපතලකම හිටපු ජනාධිපතිවරයා පිළිගෙන ඇති නමුත්, මානුෂීය පදනම මත එම තරුණයාගේ ජීවිතය බේරාගැනීමේ උත්සාහයන් සඳහා සහාය දක්වන බව ප්‍රකාශ කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ, විශේෂ රාජ්‍යතන්ත්‍රික දූතයන් ලෙස ෆයිසර් මුස්තාෆා සහ උපුල් කුමරප්පෙරුම යන දෙදෙනා සෞදි අරාබියට යන බවයි.

ජනාධිපතිවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් පසු මෙම නීතිඥවරුන් දෙදෙනා මෙම මෙහෙයුම භාරගෙන ඇති අතර, මේ සඳහා රජයේ මුදල් වෙනුවට තමන්ගේම පෞද්ගලික මුදල් යොදවන බවද එම නිවේදනයේ සඳහන් වේ.

මොහොමඩ් නෂීඩ් සමඟ පැවැති හමුව සාර්ථක වූ බවත්, ඉදිරි දිනවලදී සෞදි අරාබිය බලා පිටත්ව යෑමට සූදානම් වන බවත් උපුල් කුමරප්පෙරුම පවසා ඇත.