September 9, 2026

බගවන්තලාව, තෙරේසියා වත්තේ සිංගාර කොටසේ තේ වත්ත තුළ සැරිසරන කඳුකර කොටියා වහාම බෝපත්තලාව රක්ෂිතයට පළවාහැරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ කොටියාගේ ඡායාරූපයක් සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කරගෙන ඇති පදිංචිකරුවන්, එම ඡායාරූපයද සහිතව බගවන්තලාව පොලිසිය වෙත පැමිණ මෙසේ වාචිකව පැමිණිලි කර ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන්ත මධුසංඛ පවසයි.

ගොදුරු සොයා අදාළ කඳුකර කොටියා දිනපතාම තමන්ගේ වතු නිවාස ආසන්නයට පැමිණෙන බව පදිංචිකරුවෝ පවසති.

එමගින් පදිංචිකරුවන්ගේ ජීවිතවලට යම් අනතුරක් සිදුවීමට පෙර වනජීවී නිලධාරීන් දැනුවත් කර, තේ වත්ත ආසන්නයේම පිහිටි බෝපත්තලාව රක්ෂිතයට කොටියා පළවා අවශ්‍ය කටයුතු යොදන ලෙස ඔවුහු පොලිසියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.