September 2, 2026

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව දරුවන්ට ශාරීරිකව දඬුවම් කිරීම හෝ ඔවුන් මානසික පීඩාවට ලක්කිරීම සිදුකරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් අවවාදාත්මක ලෙස දැනුම් දී සිටියි.

2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟම අමාත්‍යාංශය මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත.

විභාග ප්‍රතිඵල මුල්කර ගනිමින් දරුවන්ට දඬුවම් කිරීමෙන් හෝ ඔවුන් මානසික අතවරයට/පීඩනයට ලක්කිරීමෙන් වළකින ලෙස අමාත්‍යාංශය සියලුම දෙමාපියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.

එමෙන්ම, දරුවන් අපහසුතාවයට, මානසික පීඩාවට හෝ ලැජ්ජාවට පත්වන අන්දමින් විභාග ප්‍රතිඵලවලට අදාළ තොරතුරු සහ අන්තර්ගතයන් ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ජනමාධ්‍ය ආයතනවලින් සහ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ද අමාත්‍යාංශය ඉල්ලා සිටී.

මෙවැනි ක්‍රියා ළමා අපචාර සහ හිංසනයන් ලෙස සැලකිය හැකි බවත්, ඊට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.