September 2, 2026

කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාර 68 ක් ‘පාර්ශවික වැදගත්කමකින් යුත් ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කරමින් අදාළ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

තොරතුරු තාක්ෂණය, උපදේශන සේවා, බාහිරකරණ සේවා (BPO), ලොජිස්ටික්ස්, යටිතල පහසුකම්, මිශ්‍ර සහ අනුකලිත ව්‍යාපාරික ආකෘති ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පුරා පැතිර පවතින මෙම ව්‍යාපාර 68 මගින් කොළඹ වරාය නගරය තුළ වේගයෙන් ව්‍යාප්ත වන වාණිජ ක්‍රියාකාරකම් නිරූපණය වේ.

2021 අංක 11 ඩරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධානවලට අනුව, 2026 මාර්තු 30 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම විශේෂ නාමකරණය සඳහා අනුමැතිය හිමිව ඇත.

අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් අනතුරුව, 2026 අප්‍රේල් 10 වැනි දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අදාළ නියෝග ප්‍රකාශයට පත්කරන ලදී.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ අදාළ විධිවිධානවලට අනුකූලව මෙම නියෝග ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.