September 2, 2026

ලබන 12 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළිය සඳහා නගරයේ පිහිටි විශාලතම ක්‍රීඩා පිටි දෙකම ලබාදීම අනුරාධපුර නගර සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එම දිනවල වෙනත් පාර්ශ්වයන් විසින් වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය සහ සල්ගාදු (නගර සභා) ක්‍රීඩාංගණය වෙන්කරගෙන ඇති බැවින් එදිනට එම පිටි ලබාදිය නොහැකි බව අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා දැනුම් දී ඇත. රැළිය සඳහා සුදුසු වෙනත් දිනයක් වෙන්කර ගැනීමට කටයුතු කරන ලෙස ද නගර සභාව පොහොට්ටු සංවිධායකයන්ට දැනුම් දී තිබේ.

කෙසේවෙතත්, මෙම තීරණයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෝ දැඩි විරෝධය පළකරති. සල්ගාදු පිටිය ලබාගැනීම සඳහා තමන් කළින්ම ඉල්ලුම් කර තිබියදී, පසුව අයැදුම් කළ වෙනත් පාර්ශ්වයකට එය ලබා දී ඇති බවටත්, වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය ද තෙවැනි පාර්ශ්වයකට වෙන්කර දී ඇති බව පවසමින් තමන්ට ලබාදීම අසාධාරණ ලෙස ප්‍රතික්ෂේප කර ඇති බවටත් ඔවුහු චෝදනා කරති.

මෙම බාධා කිරීම් ජාතික ජන බලවේගය නියෝජනය කරන නගරාධිපතිවරයාගේ උපදෙස් මත සිදුකළ දේශපාලන පළිගැනීමක් බවට ද පොහොට්ටු නියෝජිතයෝ වැඩිදුරටත් චෝදනා කර සිටිති.