August 26, 2026

බ්‍රසීලයේ සාමාන්‍ය දත්ත ආරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් TikTok හි මව් සමාගම වන ByteDance වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 29.81ක් පමණ දඩයක් නියම කිරීමට බ්‍රසීලයේ දත්ත ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබේ. මේ පිළිබඳ තීරණය එරට රජයේ නිල ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇත.

වයස අවුරුදු 13 ත් 18 ත් අතර පසුවන යොවුන් වියේ පසුවන්නන්ගේ පෞද්ගලික දත්ත නීත්‍යානුකූල පදනමකින් තොරව භාවිත කිරීම සම්බන්ධයෙන් ByteDance සමාගමේ බ්‍රසීලියානු ශාඛාවට මෙම චෝදනාව එල්ල වී තිබේ.

අදාළ කාලසීමාව තුළ TikTok පරිශීලකයන්ගේ වයස තහවුරු කිරීමේ පද්ධතියේ පැවැති දුර්වලතා හේතුවෙන්, අවම වශයෙන් ළමයින් මිලියන 8කගේ පමණ දත්ත මෙලෙස අයථා ලෙස භාවිත කර ඇති බවට දත්ත ආරක්ෂණ අධිකාරිය ඇස්තමේන්තු කරයි.

ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ චීනය ඇතුළු රටවල් රැසක් බාලවයස්කරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති පැනවීමට හෝ යෝජනා කිරීමට පියවර ගෙන ඇති අතර, ඊට සමගාමීව බ්‍රසීල බලධාරීන් ද ළමයින්ගේ සහ යෞවනයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෙසු අන්තර්ජාල නාලිකා කෙරෙහි නිරීක්ෂණය දැඩි කර ඇත.

මේ අතර, ළමයින් සහ යෞවනයන් හානිකර අන්තර්ගතයන්ට නිරාවරණය වීමේ අවදානම සලකා බලමින්, Discord සංවාද අඩවියේ සජීවී විකාශන විශේෂාංග අත්හිටුවීමට ද ANPD අධිකාරිය පසුගියදා නියෝග කළේය.

මීට අමතරව, පසුගිය මාර්තු මාසයේ සිට බලාත්මක වූ බ්‍රසීලයේ “ඩිජිටල් ළමා හා යොවුන් පනතට” අනුව TikTok ක්‍රියා කරන්නේද යන්න පිළිබඳව ද තම නියෝජිතායතනය වෙනම අධීක්ෂණයක නිරත වන බව ANPD අධ්‍යක්ෂිකා ලොරේනා ජියුබර්ටි කුටින්හෝ පැවසුවාය.

ඉදිරියේදී තවත් සමාජ මාධ්‍ය සමාගම් රැසක් ද මෙලෙස එරට දත්ත ආරක්ෂණ අධිකාරියේ පරීක්ෂාවට ලක්වීමට ඉඩ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.