August 25, 2026

බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මළසිරුර බදුල්ල – මහියංගනය මාර්ගයේ “වියානා ඇළ අසල ඇති ලඳු කැළෑවක තිබී” සොයාගෙන ඇති බව බීබීසී වාර්තාකරු පවසයි.

මෙම වෛද්‍යවරයා අතුරුදන් වී ඇති බවට ඉරිදා (අගෝ: 23) මහියංගනය පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලක් මත යුද්ධ හමුදා, නාවික හමුදා සහ පොලිසිය ඇතුළු නිලධාරීන් යොදවා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිය සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසුවේ, මෙම වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගන මාර්ගයේ 17 කණුව අසල තිබී හමුව තිබුණු බවය.

කෙසේ වෙතත්, මෙම වෛද්‍යවරයාගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව පොලිසිය පැවසීය.

මරණය හමුවූ ස්ථානයට ආසන්නයේ තිබී “පෙති වර්ගයක්” ද හමුව ඇති බව පොලිසිය තවදුරටත් සඳහන් කළේ ය.

මියගිය වෛද්‍යවරයා කවුද?

මෙලෙස මියගොස් ඇත්තේ, බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ ප්‍රභාත් දයාරත්න නමැති 49 හැවිරිදි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකි.

ඔහුගේ සමීපතමයෙකු වන වෛද්‍ය ගයාන් කුරේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ “98/99 වසරේ” අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරයෙකු බව ය.

“[ඔහු] මීට පෙරත් වසර 3ක් බදුල්ල රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙක් විදිහට සේවය කරලා ස්ථාන මාරුවක් ලබලා දෙවැනි වර තමයි මේ සේවා කාලයට පිවිසිලා වසරකට වඩා අඩු කාලයක් තමයි ගත වුණේ,” වෛද්‍ය ගයාන් කුරේ පැවසීය.

ඔහු “ඉතා ම කරුණාවන්ත, රෝගී සේවා සත්කාරය වෙනුවෙන් කැපවුණු විශේෂඥ වෛද්‍යවරයෙක්,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මිය ගිය නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් දයාරත්නගේ උපන් ගම ගින්ගත්හේන බවට සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවට ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් වේ.

එහි සඳහන් පරිදි ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇත.

‘මොකක් හින්දා මේක වුණා ද කියලා අපිට හිතාගන්න බැහැ’

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, “ඊයේ [අගෝ: 23] උදෑසන 10ට පමණ වෛද්‍ය ප්‍රභාත් සැත්කමක් අවසන් කිරීමෙන් පසු දුරකතනයට ප්‍රතිචාර දක්වා නොතිබුණු” බව ය.

“ඊට පස්සේ අපි හොයන්න ගත්තා මොක ද වුණේ කියලා. රෑ 10ට විතර අපිට වාහනය මාපාකඩ 17 කණුවේ තියෙනවා හම්බ වුණා,” ඔහු පැවසීය.

ඒ ආසන්නයේ “විශාල කැළයක්” ඇති බවත් ඒ වන විට රාත්‍රිය උදා වී තිබුණු බැවින් සෝදිසි කිරීමට අපහසු වූ බවත් ඔහු සඳහන් කළේ ය.

අනතුරුව පොලිස් නිල සුනඛයින් යොදවා උදෑසන මෙහෙයුම් කටයුතු සිදු කරන බවට පොලිසිය පැවසූ බව වෛද්‍යවරයා පැවසීය.

මෙම මෙහෙයුම සඳහා “පොලිසිය සහ හමුදාව උදව් කළා,” ඔහු සඳහන් කළේ ය.

කෙසේවෙතත්, සඳුදා (අගෝ: 24) අතුරුදන්ව සිටි වෛද්‍යවරයාගේ “මළසිරුර ගලක් උඩ තිබී” හමුවූ බව වෛද්‍ය පාලිත රාජපක්ෂ බීබීසීය වෙත පැවසීය.

“අපිට කැළේ තැන් තැන්වල තිබිලා බෙහෙත් පෙති වගේ හම්බ වුණා. මොකක් හින්දා මේක වුණා ද කියලා අපිට හිතාගන්න බැහැ. රාජකාරිය අකුරට ම කරපු මනුස්සයෙක්,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.(BBC සිංහල)