August 14, 2026

පන්ජාබ් ප්‍රාන්තයේ ලාහෝර් නුවර පොලිස් භාරයේ පසුවෙද්දී පසුගිය අගෝස්තු 5 වැනිදා සිදුවූ කාන්තාවකගේ සහ 17 හැවිරිදි තරුණියකගේ සැකකටයුතු මරණ සම්බන්ධයෙන් ක්ෂණික, ස්වාධීන සහ පාරදෘශ්‍ය පූර්ණ අපරාධ පරීක්ෂණයක් පවත්වන ලෙස මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය (Human Rights Watch) පාකිස්ථාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

අන්මොල් සහ අමීනා ලෙස හඳුනාගෙන ඇති මෙම කාන්තාවන්ගේ මරණයත් සමඟ, පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ට (විශේෂයෙන්ම කාන්තාවන්ට) සිදුවන වධහිංසා සහ වෙනත් හිංසන සම්බන්ධයෙන් දිගුකාලීනව පවතින කඩවීම් නැවතත් කරළියට පැමිණ ඇත.

එමෙන්ම 2022 වසරේදී මෙම වධහිංසා වැළැක්වීම සඳහා විශේෂ පනතක් සම්මත කර තිබියදීත්, වැරදිකරුවන් වන පොලිස් නිලධාරීන් නීතිය හමුවට පැමිණවීමට බලධාරීන් අපොහොසත් වීමද මෙමගින් පෙන්නුම් කෙරේ.

“පොලිස් භාරයේදී සිදුවූ මෙම කාන්තාවගේ සහ තරුණියගේ මරණ සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව සහ සාධාරණ ලෙස පරීක්ෂණ පැවැත්වීමට පාකිස්ථාන සහ ජාත්‍යන්තර නීතිය යටතේ ලාහෝර් බලධාරීන් බැඳී සිටිනවා,” යනුවෙන් මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ආසියානු සහකාර අධ්‍යක්ෂිකා පැට්‍රීෂියා පැවසුවාය.

“එම පරීක්ෂණය සැකයට භාජනය වී සිටින නිලධාරීන්ගෙන් ස්වාධීනව සිදුවිය යුතු අතර, ඕනෑම වරදකට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නිසි ලෙස නීතිමය පියවර ගත යුතුයි.”

ලාහෝර් පොලිසිය ප්‍රකාශ කළේ අගෝස්තු 4 වැනිදා පස්වරු 2:45 ට ප්‍රදේශවාසියෙකුගෙන් පැමිණිල්ලක් ලැබුණු බවයි.

එම කාන්තාවන් දෙදෙනා තම නිවසට ඇතුළු වී රත්තරන් බඩු සහ මුදල් සොරාගත් බවට එම පැමිණිල්ලෙන් චෝදනා කර තිබිණි. කෙසේ වෙතත්, වෙනත් වාර්තාවලට අනුව ප්‍රදේශවාසීන් විසින් අන්මොල් සහ අමීනා යන මෙම කාන්තාවන් දෙදෙනා අල්ලාගෙන පොලිසියට භාර දී ඇති බව සඳහන් වේ.