August 11, 2026

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් යොමුකරන ලද ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලැබී ඇති බව රජයේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (11) තහවුරු කළේය.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම ලිපියෙහි ඇතුළත් කරුණු සලකා බලමින් තමා සහ අධිකරණ අමාත්‍යවරයා එක්ව මහානායක හිමිවරුන් හමුවී රජයේ කරුණු පැහැදිලි කිරීමට පියවර ගත් බවයි.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනත් සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර, මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ නිකායන්හි මහානායක හිමිවරුන් හමුවී මෙම සංශෝධනවල අවශ්‍යතාව සහ පසුබිම පිළිබඳව දීර්ඝ ලෙස තොරතුරු ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය අගෝස්තු 04 වනදා පැවැති ජනමාධ්‍ය හමුවේදී මෙම ලිපිය සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බව පැවසූ අමාත්‍යවරයා, අගෝස්තු 03 වනදා සිදුකළ මෙම මහානායක හිමිවරුන් හමුවීමේදී 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කළ බව ද සිහිපත් කළේය.

රජයේ මෙම පැහැදිලි කිරීම්වලට මහා නායක හිමිවරුන් සවන් දුන් බවත්, මෙම ප්‍රතිසංස්කරණ මඟින් නඩු ප්‍රමාදයන් අවම වී ජනතාවට සහනයක් සැලසෙන්නේ නම් ඊට එකඟතාව පළකළ බවත් කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.