August 10, 2026

මහජන ප්‍රවාහන සේවයේ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින්, සියලු පහසුකම්වලින් සමන්විත තවත් ජංගම ඖෂධ සහ මත්ද්‍රව්‍ය පරීක්ෂණ බස් රථයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත අද දින නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම විශේෂ බස් රථය, අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහනට සමගාමීව මෙම පියවර ගෙන ඇති අතර, මධ්‍යකාලීන උපායමාර්ගික සැලැස්ම යටතේ මෙම වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කිරීමට නියමිතය.

සේවා කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන්නේදැයි සෙවීම සඳහා මහජන ප්‍රවාහන සේවයේ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ සහායකයින් පරීක්ෂාවට ලක් කෙරෙන මෙම ජංගම වැඩසටහන දැනට පළාත් පහක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ. අවශ්‍ය සම්පත් ක්‍රමයෙන් සංවර්ධනය කිරීමත් සමඟ ඉදිරියේදී මෙම වැඩසටහන දිවයිනේ සසුරු පළාත් වෙතද ව්‍යාප්ත කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සැලසුම් කර ඇත.

ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන මෙම අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන යටතේ මේ වන විට පරීක්ෂණ 7,150 ක් සිදු කර ඇති බව බලධාරීහු පෙන්වා දෙති.