August 10, 2026

අගෝස්තු 04 වැනිදා ෆුකෙට් සිට දිල්ලි දක්වා පියාසර කළ එයාර් ඉන්දියා ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ගුවන් ගමනෙන් පසු සිදුකළ මත්ද්‍රව්‍ය පරීක්ෂණයකදී (dope test) මානසිකත්වයට බලපාන ද්‍රව්‍ය (psychoactive substances) ශරීරගත වී ඇති බවට තහවුරු වී තිබේ. වයස අවුරුදු 30 ගණන්වල පසුවන මෙම නියමුවාගේ සේවය දැනට තාවකාලිකව අත්හිටුවා ඇත.

ගුවන් ගමන අතරතුර ඇති වූ දැඩි කැළඹිලි තත්ත්වයක් (turbulence) නිසා යානය අඩි 300 කින් පහත වැටී ඇති අතර, එහිදී ගුවන් කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු ඇතුළුව මගීන් 17 දෙනෙකු තුවාල ලබා තිබේ. මේ හේතුවෙන් සිද්ධිය අනතුරක් ලෙස සලකා, සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති ගුවන් අනතුරු පරීක්ෂණ කාර්යාංශයේ උපදෙස් මත මෙම පරීක්ෂණය සිදු කර ඇත.

ගුවන් ගමන නිමාවීමෙන් පසු නියමුවන් මුලින්ම ශ්වසන පරීක්ෂණයකට (Breathalyser test) යොමුකර ඇති අතර, එහිදී ඔහු මත්පැන් පානය කර නොමැති බව තහවුරු විය.

කෙසේවෙතත්, රුධිර හා මුත්‍රා පරීක්ෂණවලදී මානසිකත්වයට බලපාන ද්‍රව්‍ය ඇති බවට අනාවරණය වී තිබේ. මේ පිළිබඳ වැඩිදුර තහවුරු කරගැනීම සඳහා සාම්පල සහතික ලත් පරීක්ෂණාගාරයක් වෙත යොමුකර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන් නියමුවන්ගේ සංගම් පවසන්නේ නියමුවන් ලබාගන්නා වේදනා නාශක ඖෂධ, ශාරීරික වර්ධක අතිරේක (supplements) හෝ තමා විසින්ම කරගනු ලබන ඖෂධ භාවිතයන් හේතුවෙන්ද මෙවැනි පරීක්ෂණ ධනාත්මක විය හැකි බවයි.

කෙසේවෙතත්, ඔහු කොකේන් හෝ ගංජා වැනි තහනම් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්නම් එය බරපතල ගැටලුවක් බවද ඔවුහු පෙන්වාදෙති.

එයාර් ඉන්දියා සමාගම සඳහන් කළේ අදාළ පරීක්ෂණයේ නිල ප්‍රතිඵල තමන් වෙත ලැබී නොමැති බවත්, පරීක්ෂණ සඳහා අදාළ බලධාරීන්ට පූර්ණ සහයෝගය ලබාදෙන බවත්ය.