August 4, 2026

ගෝලීය වෙළඳ පද්ධතියම විශාල වෙනස්කම්වලට ලක්වෙමින් පවතින බවත්, රටවල් වඩාත් ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වෙත යොමු වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඒ හමුවේ ඇමරිකානුවන් ගමන් කරන්නේ ඒකපාර්ශ්වික ආරක්ෂණවාදී වෙළඳ සැකසුම් දෙසට බව පැවසූ ඔහු, එවැනි පියවරයන් නිසා සාම්ප්‍රදායික ගෝලීය වෙළඳ රාමුව දුර්වල විය හැකි බවද පෙන්වා දුන්නේය.

මෙම අභියෝග මධ්‍යයේ වුවද, යුරෝපා සංගමයේ GSP Plus වැනි සහනයන් මත පමණක් දැඩි ලෙස පදනම් නොවී ශ්‍රී ලංකාව අවසානයේ ස්වයං තරගකාරීත්වයක් ගොඩනගා ගත යුතු බව ද මන්ත්‍රීවරයා යෝජනා කළේය.

එහෙත් රට තුළ ශක්තිමත් අපනයන හැකියාවන් ගොඩනගා ගැනීමට පෙර පවතින සහන සහ ප්‍රතිලාභ අතහැර දැමීමට එරෙහිව ඔහු අනතුරු ඇඟවීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් බදු ව්‍යූහය විවේචනය කළ හිටපු අමාත්‍යවරයා, අධික බදු අය කිරීම නිසා ආර්ථික අසමානතාවය තවදුරටත් පුළුල් විය හැකි බව පැවසුවේය.