August 8, 2026

මිල පීඩනයට හේතුව ඉල්ලුම නොවන සැපයුම් බාධා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

උද්ධමනය ඉහළ යාමට තවදුරටත් අධික පාරිභෝගික ඉල්ලුම හේතු නොවන බවත්, ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ බාහිර හා දේශීය සැපයුම් අංශයේ ඇතිවූ බාධා කිරීම් බවත් එම තත්වය පිළිබඳ පැහැදිළි කරමින් රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසුවේය.

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වයත් සමග ඉන්ධන මිල සියයට 47 කින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා සඳහන් කළේ එමගින් සමස්ත ආර්ථිකයේම ප්‍රවාහන හා නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම, සීඝ්‍රයෙන් ඉහළ යන ආහාර ද්‍රව්‍යවල මිල සහ නිවාස කුලී මගින් සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයට එල්ල වන පීඩනය තවදුරටත් තීව්‍ර වී ඇති බවද ඔහු පැවසීය.

මෙය ණය පොලී අනුපාත ඉහළ නැංවීමෙන් පමණක් විසඳිය නොහැකි ව්‍යුහාත්මක ගැටලුවක් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.