August 8, 2026

බන්ධනාගාර ආයතන නවයක විවිධ ගිනිඅවි සඳහා භාවිත කරන පතුරොම් 2327ක් භාවිතයට ගත නොහැකි තත්වයේ පවතින බව හඳුනාගෙන ඇතත් එම පතුරම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

අඟුණකොළපැලැස්ස බූස්ස බෝගම්බර කළුතර අනුරාධපුර කොළඹ මැගසින් මොනරාගල වටරැක සහ වාරියපොල බන්ධනාගාරවල තිබූ ජීවපතුරම් මෙසේ භාවිතයට ගත නොහැකිව ඇත.

බන්ධනාගාර ආයතන නවයක ගිනිඅවි 191ක් අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පැවතුණු බව එම වාර්තාවේ දැක්වේ.

එසේම බන්ධනාගාර ආයතන විසිහතකින් ලද තොරතුරු අනුව ආරක්ෂක උපකරණ ආයුධ 1038 සංඛ්‍යාවක් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින බැවින් ආයතනවල ඒවා හිඟතාවයක් තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

බන්ධනාගාර ආයතන නවයක තිබුණු ගිනිඅවි 62ක් මැගසින් පනහක් පතුරම් 1278ක් විමර්ශන කටයුතු සඳහා අධිකරණ හා පොලිස් ස්ථාන වෙත භාරදී වසර තුනක් අවුරුදු තිස් එකත් අතර කාලයක් ගතවී තිබුණද මේ වසරේ අප්‍රේල් දක්වාම නිසි පරිදි ඒවා ලබාගෙන නොතිබීම හේතුවෙන් කැරලිකාරී තත්වයන්හිදී නිලධාරීන්ට ඒවාට මුහුණ දීමට ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

එසේම අධිකරණ රාජකාරී විශේෂ රෝහල් රාජකාරී සහ ආරක්ෂණ රාජකාරී කටයුතුවලදී ද බාධාවක්ව ඇතැයි සඳහන්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
(ලංකාදීප)