August 8, 2026

හේලා ඇපරල් හොල්ඩින්ග්ස් (Hela Apparel Holdings PLC) සමාගම සම්බන්ධයෙන් පසුගියදා ඇති වූ වර්ධනයන් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ශක්තිමත්ව පවතින බවත්, ඒ පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසත් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කොවිඩ්-19 වසංගතය මෙන්ම මෙරට පැවති ආර්ථික අර්බුදය හමුවේ වුවද ඇඟලුම් ක්ෂේත්‍රය නොසැලී මුහුණදුන් බවයි. ගෝලීය අභියෝග හැරුණු විට මෑත කාලයේදී මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය තුළ ප්‍රධාන අභ්‍යන්තර ගැටලු කිසිවක් මතුව නොමැති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

පවතින මූල්‍ය අර්බුද හමුවේ හේලා ඇපරල් හොල්ඩින්ග්ස් සමාගම, හේලා ක්ලෝතින් සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් යන සමාගම් ඈවර කිරීමේ නියෝගයක් ඉල්ලා වාණිජ මහාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබීමත් සමඟ ආයෝජන මණ්ඩලය (BOI) ද සේවකයන් වෙත විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

මෙම ඈවර කිරීමේ පෙත්සම් ගොනුකිරීමට පෙර ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ හේලා ක්ලෝතින් සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් හි සේවකයින් එමරල්ඩ් ක්ලෝතින් සමාගම වෙත අනුයුක්ත කර ඇත.

අදියර දෙකක් යටතේ (2026 මැයි 01 සහ ජූනි 01 යන දිනවලදී) විධායක නිලධාරීන් 251 ක්, කාර්ය මණ්ඩල සේවකයින් 393 ක් සහ අනෙකුත් සේවකයින් 3,030 ක් ඇතුළු 3,674 දෙනෙකු එමරල්ඩ් ක්ලෝතින් සමාගම වෙත අනුයුක්ත කර තිබේ.

මෙම සියලුම සේවකයන්ගේ සේවා කාලයේ බාධාවකින් තොරව, පෙර පැවති සේවා කොන්දේසි යටතේම නව සමාගම තුළ රැකියාවල නිරත වන බව ආයෝජන මණ්ඩලය තහවුරු කරයි.

ආයෝජන මණ්ඩලයේ කාර්මික සබඳතා දෙපාර්තමේන්තුව හරහා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධීක්ෂණය කර ඇති අතර, සේවකයන්ගේ අයිතිවාසිකම් සහ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් ඉදිරියටත් මැදිහත් වන බව රජය අවධාරණය කරයි.