August 8, 2026

සංචාරක වීසා මගින් ශ්‍රී ලංකාවට පැමිණ, වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටිමින් රැකියා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් චීන ජාතිකයින් 94 දෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෝෂල මහතා විසින් රුපියල් 70,50,000 ක දඩයක් නියම කරන ලදී.

රාජගිරිය ප්‍රදේශයේ රැඳීසිටිමින් අන්තර්ජාල ජාවාරම්වල යෙදී සිටියදී අත්අඩංගුවට ගත් මෙම පිරිස, වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් රැකියා කිරීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී වරද පිළිගත් චීන ජාතිකයකුට රුපියල් 75,000/- බැගින් චීන ජාතිකයින් 94 දෙනාට සමස්තයක් ලෙස රුපියල් 70,50,000/-ක දඩ නියම කෙරිණි.

සංචාරක වීසා මගින් පැමිණ මෙලෙස නීති විරෝධී ලෙස රැකියා කිරීම මගින් ලංකාවේ ආර්ථිකයට මරු පහරක් එල්ල වන බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුචිර වර්ණප්‍රිය අධිකරණය හමුවේ පෙන්වා දෙන ලදී.

එලෙස කළ ඉල්ලීම සලකා බලමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.