August 8, 2026

දුරකථන අංකය වෙනස් නොකර වෙනත් සේවා ජාලයකට මාරු වීමේ පහසුකම (Mobile Number Portability – MNP) එළඹෙන සැප්තැම්බර් මාසයේදී නිකුත් කරන බවට ඇතැම් මාධ්‍ය පළකර ඇති පුවත් අසත්‍ය බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පසුගිය (06) දා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම මාධ්‍ය වාර්තා පළ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය පැහැදිලි කරන බවත් අමාත්‍යාංශය පවසයි.

පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළ සැබෑ තත්ත්වය වන්නේ, සැප්තැම්බර් මාසය යනු සේවාව ආරම්භ වන දිනය නොවේවන බවත්, සැප්තැම්බර් මස අග යනු අදාළ දුරකථන සමාගම් (Operators) අතර මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා ලබා දී ඇති කාලසීමාව පමණක් බවත් ය.

ඒ අනුව, සැප්තැම්බර් මස අග වන විටත් පාර්ශවකරුවන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදන සහ බලපත්‍ර කොන්දේසි අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් නියාමන නියෝගයක් නිකුත් කිරීමට පියවර ගනු ඇත.

සමාගම් අතර එකඟතාවයක් ඇති නොවුණහොත්, ස්ථාවර දුරකථන අංක පෝටබිලිටි (Fixed NP) සේවාවට පෙර, වැඩි පාරිභෝගික පිරිසකට සේවය සැලසෙන ජංගම දුරකථන අංක පෝටබිලිටි (Mobile NP) සේවාව පළමුව ආරම්භ කිරීමට රජය මැදිහත් වේ.

ඒ අනුව, පාරිභෝගික අයිතිවාසිකම් සුරකිමින් හැකි ඉක්මනින් මෙම පහසුකම ජනතාව වෙත ලබා දීමට රජය කැපවී සිටින අතර, MNP සේවාව නිල වශයෙන් ආරම්භ කරන නිශ්චිත දිනය ඉදිරියේදී විධිමත්ව දැනුම් දෙනු ලැබේ.