August 7, 2026

දිගින් දිගටම පවතින ද්‍රවශීලතා අර්බුදය හේතුවෙන් සමාගමේ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින්, අධිකරණ නියෝගයක් හරහා හෙළ ඇපරල්ස් හෝල්ඩින්ග් ඈවර කිරීම සඳහා වාණිජ මහාධිකරණය වෙත අයදුම්පතක් ඉදිරිපත් කළ බව එම සමාගම නිවේදනය කරයි.

කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම්දීමක් කරමින් සමාගම සඳහන් කර ඇත්තේ, සමාගම් සමූහයේ මූල්‍ය තත්ත්වය, වත්කම්, බැඳීම්, ණය බර සහ ඉදිරි මුදල් ප්‍රවාහයන් පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දීර්ඝ ලෙස සමාලෝචනය කිරීමෙන් අනතුරුව, හෙළ ඇපරල්ස් හෝල්ඩින්ග් සහ එහි අනුබද්ධ සමාගම් වන Hela Clothing (Private) Limited සහ Foundation Garments (Private) Limited යන සමාගම්වලට තවදුරටත් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි බව නිගමනය කළ බවයි.

2007 අංක 7 දරන සමාගම් පනත යටතේ අධිකරණ නියෝගයක් මඟින් සමාගම ඈවර කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය අගෝස්තු 04 වැනිදා තීරණය කර ඇති අතර, ඊට අදාළ අයදුම්පත් අගෝස්තු 05 වැනිදා වාණිජ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එහි අනුබද්ධ සමාගම් දෙක ද වෙන වෙනම ඈවර කිරීමේ අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.

ණය හිමියන්, සේවකයන් සහ අනෙකුත් පාර්ශවකරුවන්ට සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ, ණය ප්‍රතිසංස්කරණ සහ උපායමාර්ගික ආයෝජනයන් ලබාගැනීමට අධ්‍යක්ෂවරුන් උත්සාහ කර ඇත.

අදාළ විකල්පයන් සියල්ල අසාර්ථක වීම, ප්‍රතික්ෂේප වීම හෝ වාණිජමය වශයෙන් තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි මට්ටමකට පැමිණීම නිසා පමණක් මෙම ඈවර කිරීමේ තීරණයට එළඹි බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.