August 6, 2026

දේශපාලනඥයන්ගේ වත්කම් ප්‍රකාශන තවදුරටත් මහජනතාවට විවෘතව සහ ප්‍රසිද්ධියට පත්කර තැබීම තහවුරු වන පරිදි, ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන නැවත සංශෝධනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ පවතින වත්කම් ප්‍රකාශ කිරීමේ රාමුවට සංශෝධන යෝජනා කරමින් 2026 ජූලි 24 වන දින ගැසට් පත්‍රයේ පළකරන ලද කෙටුම්පත සම්බන්ධයෙන් මතුවූ සාකච්ඡාවලින් පසුව ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබේ.

වාර්තාවන්ට අනුව, මෙම පනත යටතේ වත්කම් ප්‍රකාශන 160,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බැවින් මුලින් මෙම සංශෝධනය සූදානම් කර තිබේ.

එමෙන්ම, රජයේ මණ්ඩලවල සේවය කරන පෞද්ගලික අංශයේ වෘත්තිකයන් කිහිපදෙනකු ද සිය වත්කම් ප්‍රකාශන අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කිරීම මගින් තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වන බවට අදහස් දක්වා ඇත.

යෝජිත සංශෝධනය මගින් අවධානය යොමුකර තිබුණේ එම ගැටලුවලට විසඳුම් ලබාදීමටය.

කෙසේවෙතත්, පැවැති සාකච්ඡාවලින් අනතුරුව, දේශපාලන නොවන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය සුරැකෙන අතරම, මහජන නියෝජිතයන් සහ දේශපාලනඥයන්ගේ වත්කම් ප්‍රකාශන තවදුරටත් මහජනතාවට පහසුවෙන් ලබා ගත හැකි වන පරිදි අදාළ යෝජනාව සංශෝධනය කරන ලෙස ජනාධිපති අනුර දිසානායක උපදෙස් දී ඇත.

මහජන නියෝජිතයන්ගේ වත්කම් හා බැරකම් පරීක්ෂා කිරීමට මහජනතාවට ඇති අයිතිය මෙයින් සුරක්ෂිත වන අතර, පනත යටතේ වත්කම් ප්‍රකාශ කළ යුතු සෙසු පාර්ශවයන් සඳහා වෙනස් රාමුවක් හඳුන්වාදෙනු ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සකස් කළ මෙම නව සංශෝධිත කෙටුම්පත ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.