August 2, 2026

පාකිස්තානයේ බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව සිදුවන අමානුෂික සහ අවමන්සහගත සැලකිලි වහාම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටියි.

ඔහු නිදහස් කරන ලෙස බලකරමින් ‘පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ (PTI) පක්ෂය විසින් දීපව්‍යාප්ත විරෝධතා පාගමනක් සංවිධානය කරමින් සිටින අතරතුර, එක්සත් ජාතීන්ගේ වධහිංසා පිළිබඳ විශේෂ වාර්තාකාරිනී ඇලිස් ජිල් එඩ්වර්ඩ්ස් විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඉම්රාන් ඛාන් මාස 33 ක සිට කුඩා, ජනේල රහිත සිර මැදිරියක සම්පූර්ණයෙන්ම වාගේ හුදකලා කර රඳවා සිටින බව ඇය පෙන්වා දෙයි.

පැය 24 පුරාම ක්‍රියාත්මක කැමරා නිරීක්ෂණය යටතේ ඔහු තබා තිබීම පුද්ගලිකත්වයට සහ මානව ගෞරවයට හානි පමුණුවන්නකි.

සිරකරුවන්ට සැලකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති පද්ධතියට (මැන්ඩෙලා රීති) අනුව, දිනකට පැය 22 කට වඩා තනිව රඳවා තැබීම හුදකලා සිරදඬුවමකි.

එමෙන්ම දින 15 කට වඩා වැඩි කාලයක් පවතින මෙවැනි හුදකලා කිරීම් වධහිංසා හෝ අමානුෂික සැලකිලි ලෙස සැලකෙන බැවින් ඒවා ජාත්‍යන්තර නීතියට අනුව සම්පූර්ණයෙන්ම තහනම් වේ.
:
2022 වසරේදී පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් බලයෙන් පහකෙරුණු ඉම්රාන් ඛාන්ට එරෙහිව දූෂණ, රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සහ ත්‍රස්තවාදය වැනි චෝදනා මත නඩු රැසක් පවරා ඇත. වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ සිරගත කර සිටින ඔහු සහ ඔහුගේ පක්ෂය ප්‍රකාශ කරන්නේ මෙම සියලු චෝදනා පදනම් විරහිත, දේශපාලන පළිගැනීම් බවයි.