August 5, 2026

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී නිමාවට පත්වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සහභාගී වූ රටවල් කිහිපයක ක්‍රීඩකයන් පිරිසක්, තරගාවලියෙන් පසුව සිය කණ්ඩායම් සමඟ ආපසු නොගොස් අතුරුදන් වී ඇති බව ස්කොට්ලන්ත පොලිසිය තහවුරු කරයි.

අතුරුදන් වූවන් අතර උගන්ඩා බොක්සිං ක්‍රීඩකයන් 4 දෙනෙකු සහ පාකිස්ථාන බොක්සිං ක්‍රීඩකයකු වන කුද්රතුල්ලා වන බව මාධ්‍ය වාර්තා කරයි.

උගන්ඩා මාධ්‍ය වාර්තා කළ පරිදි නුහු බැටේ, ඇන්ජල් කටුෂබේ, ඉබ්‍රාහිම් කෙමිස් සහ එමිලි නකලෙමා යන බොක්සිං ක්‍රීඩකයන් 4 දෙනා මෙලෙස අතුරුදහන් වී ඇත.

පාකිස්ථාන ක්‍රීඩක කුද්රතුල්ලා ද කණ්ඩායම සමඟ ගුවන්යානයට ගොඩවී නොමැත.

තමන්ට වඩා හොඳ පුහුණු පහසුකම් සහ අනාගතයක් වෙනුවෙන් ස්කොට්ලන්තයේ රැඳී සිටිමින් දේශපාලන රැකවරණය ඉල්ලීමට අදහස් කරන බව අතුරුදහන් වූ උගන්ඩා ක්‍රීඩකයකු NBS Sport වෙත පවසා තිබේ.

2014 ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ද උගන්ඩා රග්බි ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළු ක්‍රීඩකයන් රැසක් අතුරුදන් වූ අතර, කැමරූන් බර එසවීමේ ක්‍රීඩක සිරිල් චැට්චෙට් ද දේශපාලන රැකවරණ ඉල්ලා මෙවර 2026 තරගාවලියට එක්වී රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

අතුරුදන් වූ ක්‍රීඩකයන් සොයා ස්කොට්ලන්ත පොලිසිය සහ බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය ඉවත් වීමෙන් පසු සංක්ෂිප්ත ආකෘතියකින් පැවැත්වුණු 2026 ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉරිදා සාර්ථකව නිමාවට පත් විය.