August 5, 2026

පාතාල කල්ලි නායකයකු මෙන්ම අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කංජිපානි ඉම්රාන්’ අත්අඩංගුවට ගැනීම සඳහා මැලේසියානු පොලිසිය, ඉන්ටර්පෝල් සහ ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

කංජිපානි ඉම්රාන් අන්තර්ජාතික ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීමට මැලේසියානු පොලිසිය කටයුතු කර ඇති අතර, ඔහු සැඟවී සිටින බවට සැකකෙරෙන ස්ථාන රැසක මේ වන විටත් වැටලීම් කර ඇත.

සැකකරු මැලේසියාවෙන් පලායාම වැළැක්වීම සඳහා එරට සියලුම ගුවන්තොටුපළවල්, වරායවල් සහ මුහුදු මාර්ග ඇතුළු රටින් පිටවන සියලුම මාර්ග අවහිර කිරීමට මැලේසියානු පොලිසිය සහ ඉන්ටර්පෝල් පියවර ගෙන තිබේ.

කංජිපානි ඉම්රාන්ට මැලේසියාවේ ඇති සබඳතා සහ එරට සිටින ඔහුගේ කල්ලියේ සාමාජිකයන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මක වේ.

මැලේසියානු පොලිස් භාරයේ සිටින කංජිපානිගේ සමීපතම ගෝලයෙකු වන ‘රත්මලානේ සයිමා’ ඇතුළු අපරාධකරුවන් තිදෙනාගෙන් මැලේසියානු පොලිසිය සහ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර, එහිදී ඉම්රාන් සහ ඔහුගේ ජාලය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

සහකාර පොලිස් අධිකාරී ඕලුගලගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ රහසිගත මෙහෙයුමේදී රත්මලානේ සයිමා අත්අඩංගුවට පත්වීමත් සමඟ, කංජිපානි ඉම්රාන් තමන් සිටි ස්ථානය මාරු කර වෙනත් ප්‍රදේශයකට පලාගොස් ඇති බව අනාවරණය වේ.

මෙම මෙහෙයුම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිටගේ පූර්ණ සහාය සහ උපදෙස් හිමිව තිබේ.

මෙම සැකකරු කෙසේ හෝ අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා අදාළ නිලධාරීන් නිරන්තර අවධානයෙන් යුතුව කටයුතු කරමින් සිටියි.