August 5, 2026

කල් ඉකුත් වූ ඖෂධ සහ සැත්කම් උපකරණ ළඟ තබාගැනීම සහ රුධිර පරීක්ෂණ සඳහා නියමිත උපරිම ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කිරීම සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට සහ වෛද්‍ය සායනයකට රුපියල් ලක්ෂ හතරක (රු. 400,000/-) දඩයක් නියම කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති සහ විධානයන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් මෙම නඩු පවරා තිබිණි.

මෙහිදී 2026 ජූලි 29 වැනි දින සිදුකළ වැටලීමට අනුව, යාපනය, තිරුනෙල්වේලි හි නොදර්න් සෙන්ට්‍රල් හොස්පිටල්ස් ආයතනයට එල්ල වී තිබුණු චෝදනාව වූයේ, ඇස් සැත්කම් සඳහා භාවිත කරන කල් ඉකුත් වූ ‘Tropicamise with phonlyphone Auromidpls 5ml’ ඖෂධ දියර ශීතකරණයේ තබා ප්‍රදර්ශනය කිරීම, ඖෂධ සූදානම් කරන ස්ථානයේ කල් ඉකුත් වූ Ether Liquid සහ Hydrogen Peroxide භාවිතය සඳහා තබා ගැනීම සහ කල් ඉකුත් වූ ‘Sterile Plashmatube’ සැත්කම් උපකරණ ප්‍රදර්ශනය කිරීම යි.

ඒ අනුව, 2026 අගෝස්තු 04 වැනි දින අධිකරණය හමුවේ චෝදනා තුනටම වරද පිළිගැනීමෙන් අනතුරුව, එක් චෝදනාවකට රුපියල් 100,000/- බැගින් රුපියල් 300,000/-ක (ලක්ෂ තුනක) දඩයක් නියම කර ඇත.

2026 ජූලි 14 වන දින සිදුකළ වැටලීමට අනුව, නිව් සන් රයිස් මෙඩි ක්ලිනික් නාවලර් පාර, යාපනය, ආයතනයට එල්ලවී ඇති චෝදනාව වූයේ, Full Blood Count (FBC) රුධිර පරීක්ෂාවක් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති රුපියල් 400/-ක උපරිම ගාස්තුව ඉක්මවා යමින්, රුපියල් 550/-ක් අය කිරීම මඟින් විධාන අංක 67 උල්ලංඝනය කිරීම යි.

ඒ අනුව, 2026 අගෝස්තු 04 වන දින විත්තිකරු වරද පිළිගැනීමෙන් අනතුරුව එම ආයතනයට රුපියල් 100,000/-ක (ලක්ෂයක) දඩයක් නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 60(6) වගන්තිය ප්‍රකාරව, මෙම වෛද්‍ය ආයතන දෙකට එරෙහිව ලබාදුන් අධිකරණ තීන්දු පිළිබඳ විස්තර මහජන දැනගැනීම සහ විනිවිදභාවය සඳහා පුවත්පත්වල පළ කරන ලෙසද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් වැඩිදුරටත් නියෝග කර ඇත.