August 4, 2026

මෙරට මහජන ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා තවත් සුවපහසු පත්ල පහත් (Low-floor) බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මහජන ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ මීට පෙර මිල දී ගැනීමට තීරණය කළ සුවපහසු පත්ල පහත් බස් රථ 100ක් මේ වන විටත් අදාළ සැපයුම්කරු විසින් මෙරටට ආනයනය කර ඇත.

කෙසේවෙතත්, කොළඹ මහ නගර කලාපයෙන් ඔබ්බට ද නවීන මහජන ප්‍රවාහන සේවාවන් ව්‍යාප්ත කිරීම රජයේ අරමුණ වී තිබේ.

ඒ අනුව, මගී ඉල්ලුම ඉහළ මට්ටමක පැවතීම මෙන්ම ප්‍රධාන කලාපීය ප්‍රවාහන සහ සංචාරක මධ්‍යස්ථාන ලෙස පවතින උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින්, මෙට්‍රො බස් රථ ව්‍යාපෘතියේ පළමු අදියර මහනුවර, ගාල්ල සහ යාපනය යන නගරවල ද ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

එම නගරයන්හි ද සේවාව ආරම්භ කිරීම සඳහා මෙට්‍රො බස් රථ ඇණිය තවදුරටත් ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන්, 2026 මාර්තු 06 වන දින බස් රථ 100ක් මිල දී ගැනීම වෙනුවෙන් පිරිනමන ලද කොන්ත්‍රාත්තුව යටතේම, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව 50%ක නැවත ඇණවුමක් ලෙස මෙම අමතර බස් රථ 50 ප්‍රසම්පාදනය කිරීමට තීරණය කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිව තිබේ.