August 4, 2026

ජපානයට දැනට බලපා ඇති දැඩි ග්‍රීෂ්ම ඍතුව සහ අධික උෂ්ණත්වය හේතුවෙන් ටෝකියෝ හි තමා සත්වෝද්‍යානයේ සිටි සිංහ ධේනුවන් තිදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 3, 11 සහ 15 යන වයස්වල පසුවූ මෙම සිංහ ධේනූන් තිදෙනා ජූලි 28 සහ අගෝස්තු මුල අතර කාලයේදී මෙලෙස මියගොස් තිබේ. මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව ඔවුන්ගේ සිරුරු විජලනයට ලක්වී තිබී ඇති අතර, ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් කිහිපයක්ම අක්‍රිය වීම මරණයට හේතුව ලෙස දක්වා ඇත. අධික පාරිසරික උෂ්ණත්වය මීට ප්‍රධාන හේතුව වන්නට ඇති බව සත්වෝද්‍යාන බලධාරීන් සැකකරයි.

සත්වෝද්‍යාන නියෝජිත මීවා කොසාකා පවසන්නේ මෙවැනි සිදුවීමකට තමන් මුහුණ දුන් පළමු අවස්ථාව මෙය බවයි. මියගිය මුගී (වයස 3), ඉචිගෝ (වයස 11) සහ ලුඑනා (වයස 15) යන සිංහ ධේනූන්ට අමතරව තවත් සිංහයින් තිදෙනෙකු අසනීප තත්ත්වයෙන් පසුවන අතර, හතරදෙනකු සුවය ලබමින් සිටින බව සත්වෝද්‍යානය සඳහන් කරයි.

සුවය ලබන සතුන් සඳහා විශේෂ වායුසමීකරණ සහ කාර්මික පංකා සහිත පරිශ්‍රයන් වෙන්කර ඇත.

ටෝකියෝ විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය මහාචාර්ය හිඩෙඅකි කරාකි පෙන්වාදෙන්නේ, සිංහයින්ට මිනිසුන් මෙන් දහඩිය දැමීමක් සිදුනොවන අතර ඔවුන් සිරුරේ උෂ්ණත්වය පාලනය කරන්නේ ශ්වසන මාර්ගය හරහා වාෂ්පීකරණය මගිනි.

කෙසේවෙතත්, පවතින අධික ආර්ද්‍රතාව නිසා සිරුරේ උෂ්ණත්වය අඩුකර ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇති අතර ජූලි මස මැද භාගයේදී එකවරම උෂ්ණත්වය ඉහළ යාම ද මීට බලපා ඇත.

ජපානයේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති අතර, සත්වෝද්‍යාන බලධාරීන් ඉතිරි සතුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට මේ වන විට දැඩි වෙහෙසක් දරමින් සිටී.