August 4, 2026

මහර බන්ධනාගාරයේ ගැටුම් ඇතිවීමත් සමගම එහි සිටි රැඳවියන් ජංගම දුරකථන මාර්ගයෙන් සිය පවුල්වල සාමාජිකයන්ට ඇමතුම් ලබාදී ඔවුන් බන්ධනාගාරය අසලට ගෙන්වාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මහර බන්ධනාගාරය තුළ ජංගම දුරකථන ඉතාම සුලබ බවත් එහි සිටින පැරණි රැඳවියන් එම දුරකථනවලින් ඇමතුම් ලබා ගැනීමට අලුතින් පැමිණි රැඳවියන්ට ලබාදෙන්නේ ඉහළ මිල ගණන් යටතේ බවත් වාර්තා වෙයි.

ජංගම දුරකථනවලින් ඇමතුම් ලබාගැනීමේදී ගෙවීමට ඇති මුදල් පැරණි රැඳවියන් ලබාදෙන ගිණුම්වලට ඊසිපෑෂ් ක්‍රමය යටතේ බැර කළ යුතු බවද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසීය.

මහර බන්ධනාගාරයේ ගැටුම් ඇතිවීමෙන් පසු රැඳවියන් විසින් විටින් විට ජංගම දුරකථන මාර්ගයෙන් පිටත සිටින සිය ඥාති හිතමිත්‍රාදීන්ට ඇතිවූ තත්ත්වය පිළිබඳව තොරතුරු ලබාදී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

එසේ තොරතුරු ලබාදී ඥාති හිතමිත්‍රාදීන් බන්ධනාගාරය ඉදිරිපිටට කැඳවා ඔවුන් යොදාගෙන විරෝධතාව පැවැත්වීමට ඉඩ සැලැස්වීම බන්ධනාගාර රැඳවියන්ගේම සැලසුමකට අනුව සිදුවී ඇති බවද අනාවරණය වී ඇත.

බන්ධනාගාර ආරංචි මාර්ග පවසන අන්දමට බන්ධනාගාරයේ රඳවා සිටින මහර රැඳවියන් එහි පරිපාලන කටයුතුවලින් බොහොමයක් සිය යටතට ගෙන සිට ඇත.

අලුතින් එන රැඳවියන්ට ආහාර පාන ලබාගැනීම, ස්නානය කිරීමට මෙන්ම වැසිකිළි පහසුකම් සඳහා ජලය ලබාගැනීමද පැරණි රැඳවියන්ට මුදල් ලබාදී කරගත යුතුය. එම මුදල් පැරණි රැඳවියන්ගේ ගිණුම්වලට ඊසි කෑෂ් ක්‍රමය යටතේ මාරු කිරීමෙන් පසුව සියලු පහසුකම් සපයාදීම පැරණි රැඳවියන් විසින් සිදුකර ඇත.

මහර බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් අතර ජංගම දුරකථන පරිහරණය සුලබවීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඇතැම් බන්ධනාගාර නිලධාරීන් විශාල වශයෙන් මුදල් ලබාගෙන රැඳවියන්ට ජංගම දුරකථන ලබාදී තිබෙන බවද මේ වනවිට හෙළි වී තිබේ.

(දිවයින)