August 4, 2026

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් කළ ප්‍රකාශයන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ජනමාධ්‍ය හමුවක් අමතමින් සාගර කාරියවසම්, වත්මන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ, ආණ්ඩුවට නොව, රජයට සහ ජනතාවට සේවය කරන ලෙසයි. එමෙන්ම 37 වැනි පොලිස්පතිවරයා, “මහපාරේදී ජනතාවගෙන් ගුටි කන පොලිස්පතිවරයෙකු ලෙස ඉතිහාසයට එකතු වෙනවා දකින්න තමන් අකමැති බව” ද ඔහු ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය විජේපාල කියාසිටියේ, රජය මෙම ප්‍රකාශ සැහැල්ලුවට නොගන්නා බවත්, ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට උපදෙස් දී ඇති බවත්ය.

දේශපාලන බලය වෙනුවෙන් මීට පෙර ජනතාව බිලිදුන් දේශපාලන ව්‍යාපාරයක මානසිකත්වය මෙමගින් පිළිඹිබු වන බවට චෝදනා කළ අමාත්‍යවරයා, එම ප්‍රකාශය වගකීම් විරහිත එකක් ලෙසද හඳුන්වාදුන්නේය.

වත්මන් පොලිස්පතිවරයා සිය රාජකාරිය කාර්යක්ෂමව ඉටුකරන බව වැඩිදුරටත් පැවසූ අමාත්‍යවරයා, දූෂණය, අල්ලස සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් දැනට සිදුවෙමින් පවතින පරීක්ෂණ නිසා බියෙන් පසුවන පුද්ගලයන් විසින් මෙම ප්‍රකාශය කරන්නට ඇති බවට අනුමාන කළේය.

පරීක්ෂණ සොයාගැනීම් මත පදනම්ව සුදුසු නීතිමය පියවර ගන්නා බවද අමාත්‍ය විජේපාල පැවසීය.