August 3, 2026

වීසා අක්‍රමිකතා සම්බන්ධයෙන් සැකපිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන තිබූ චීන ජාතිකයන් 60 දෙනෙකුගේ විදේශගමන් බලපත්‍ර හදිසියේ මුදාහැරීම සහ ඔවුන් වෙත නේවාසික වීසා නිකුත් කිරීම පිළිබඳ රජය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අදාළ චීන ජාතිකයන් මාසයක ව්‍යාපාරික වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම වීසාවල නීත්‍යනුකූලභාවය පිළිබඳ මතුවූ සැකසංකා හේතුවෙන් වැඩිදුර විමර්ශන සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය විසින් ඔවුන්ගේ විදේශගමන් බලපත්‍ර භාරයට ගෙන තිබිණි.

විමර්ශන පැවැත්වෙන අතරතුර අදාළ පුද්ගලයන්ට නේවාසික වීසා ලබාදී ඇත්තේ නීත්‍යනුකූල සහ පරිපාලනමය පියවරයන් නිසි පරිදි අනුගමනය කරමින්ද යන්න පිළිබඳව නීතිය බලගන්වන බලධාරීන්ගේ අවධානය යොමුවී ඇත.

නේවාසික වීසා නිකුත් කිරීමට පෙර සිදුකළ යුතු සම්මත සත්‍යාපන ක්‍රියාවලිය පූර්ණ කර තිබේද සහ ඊට අදාළ සියලු අනුමැතීන් ලබාගෙන තිබේද යන්න ද පරීක්ෂා කෙරේ.

මෙම සිදුවීමේදී යම් නීතියක්, රෙගුලාසියක් හෝ රාජකාරිමය ක්‍රියාපටිපාටියක් උල්ලංඝනය වී ඇත්දැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වෙනම විමර්ශනයක් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන චීන සංවිධානාත්මක අපරාධ කල්ලිවල නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් මෑතකදී තොරතුරු අනාවරණය වීමත් සමඟ මෙරට ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුවී තිබේ.

එම පසුබිම හමුවේ මෙම චීන ජාතිකයන් 60 දෙනාට නේවාසික වීසා හිමිවීම පිළිබඳව දැඩි ලෙස නිරීක්ෂණය කෙරෙන අතර, මෙම තීරණයට සම්බන්ධ නිලධාරීන් සහ ඊට අදාළ තත්ත්වයන් අනාවරණය කරගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

මෙම ක්‍රියාවලියේදී යම් නීති විරෝධී ක්‍රියාවක්, බලය අනිසි ලෙස භාවිත කිරීමක් හෝ නිලධාරීන්ගේ පැහැරහැරීමක් සිදුවී ඇති බව තහවුරු වුවහොත් ඊට එරෙහිව දැඩි නීතිමය සහ විනයානුකූල පියවර ගැනීමට නියමිත බව වාර්තා වේ.